එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මෙල් මහතා ‘ඊයේ (18දා) පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මාලිංගට අවස්ථා දෙකකදී කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දීම පිළිබඳ තේරීම් කමිටු සභාපතිවරයාද වන අසන්තා මහතාගෙන් කළ විමසුමේදී ඔහු,
“මට කරන්න දෙයක් නෑ. මාලිංග එහෙදිම (ශ්‍රී ලංකාවේදීම) නැවත ශ්‍රී ලංකාවට යන්න අවසර අරගෙනයි තිබුණේ. ක්‍රීඩකයන්ට ඔය වගේ දේවල්වලට අවසර දෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනේ. මාලිංග නැවත හෙට (අද) මෙහෙ එනවා” යැයි වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව කණ්ඩායම් කළමණාකාරිත්වය තුළද එතරම් කැමැත්තක් නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශ්ව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ. මෙවැනි ප්‍රධාන තරගාවලියක් අතරතුරදී ක්‍රීඩකයකු ගුවන් ගමන් වැනි දේවලින් වෙහෙසට පත්ව කණ්ඩායමට උපරිම ලබාගත හැකිද යන ගැටලුව මතු වන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ, ඔහුගේ ඉල්ලීම මානුෂික හේතූන් මත සළකා අවසර ලබාදුන් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන විධායකවරයා,
“මාලිංග ඔහුගේ නැන්දණියගේ දානමය පින්කමට සහභාගි වෙන්න ඕන කියලා අවසර ඉල්ලුවා. දානයකට සහභාගි වෙන්නනේ. ඒ නිසා අපි ඒ පිළිබඳව සළකා අවසර දුන්නා” යැයිද පැවසීය.
මාලිංග අවමංගල්‍යයට සහභාගි වී නැවත එංගලන්තයට ඒමට පෙර දානමය පින්කමට සහභාගි වීම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ගෙන තිබේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි මාලිංග එම තරගාවලිය අවසන් වීමෙන් පසුව මැයි 13 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ මැයි මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණි.
මාලිංග ඉන්පසුව නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග දෙකට සහභාගි වූ අතර, පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග දෙකට සහභාගි වීමටද කණ්ඩායමේ රැඳී සිටියේය.
ඔහු සිය නැන්දණියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ, නැවත 14 වැනිදා රාත්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය. ඉන්පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ඉරිදා නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් තිබුණි.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය, මාලිංග නොමැතිව මැයි මස 07 වැනිදා එංගලන්තය බලා පිටත්ව ස්කොට්ලන්තයට එරෙහිව තරග දෙකකට සහ දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පුහුණු තරග දෙකකටද සහභාගි විය.
ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට එක ගුවන් ගමනක් සඳහා අවම වශයෙන් පැය 10ක කාලයක් ගත වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයට පෙර දින රාත්‍රී 08.00ට පසු වී පැය 10කට අධික ගුවන් ගමනකින් පසුව ලන්ඩන් නුවරට පැමිණි මාලිංග පසු දින පෙ.ව. 10.30ට තරගයටද ක්‍රීඩා කළේය.
මාලිංග ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී පන්දුවාර 10ක් යවමින් නිලකුණු පන්දු වාරයක් සමගින් ලකුණු 61කට කඩුල්ලක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලීඩ්ස්හි ලබන 21 වැනිදා පැවැත්වෙන අතර, එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) පස්වරුවේ හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි විය.
යොහාන් භාසුර (එංගලන්තයේ ලීඩ්ස් සිට)