ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කිරීම සම්බන්ධයෙන් ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
"ලසිත් මාලිංගට නැවත කණ්ඩායමට එන්න අනිත් ක්‍රීඩකයන්ට වගේම සම්භාවිතාවක් තියෙනවා. මම හිතන්නේ ඔහු දේශීය තරගවලට ඇවිල්ලා ඒ තරග හොඳට ක්‍රීඩා කළොත් අනිත් ක්‍රීඩකයන්ට ලැබෙන අවස්තාව ඔහුටත් ලැබේවි. ඒ අනුව තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා අපේ කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඔහුව කණ්ඩායමට තෝරනවාද නැද්ද කියලා තීරණය කරන්න" යැයි ශ්‍රී ලංකා පුහුණුකරුවා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි තේරීම් කමිටු සාමාජික ගාමිණී වික්‍රමසිංහ මහතා පැවසුයේ ලසිත් මාලිංග සම්බන්ධයෙන් තේරීම් කමිටුව මෙන්ම අනෙකුත් වගකිවයුතු බලධාරීන් සිටිනුයේ එක මතයක බවත්, ඔහුට ඉදිරියේදී පැවැත්වෙන විස්සයි20 දේශීය තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත්ය. එහිදී ඔහු දක්වන දක්ෂතා අනුව ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ පැවසීය.
කෙසේ වෙතත් මේ දිනවල දිගින් දිගටම දක්ෂතා අතර සිටින ලහිරු තිරිමාන්නට නැගී එන කණ්ඩායමේ හෝ අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශන කර සිටියේය.
ඊට පිළිතුරු දුන් ගාමිණී වික්‍රමසිංහ මහතා,
"තිරිමාන්න බංග්ලාදේශ තරගාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කළා. එහෙත් අපි ඔහුව එක පාරට ජාතික කණ්ඩායමට ගේන්නේ නැහැ. අපි ඔහු දිහා බලාගෙන ඉන්නේ. අපිට අවශ්‍ය වුණා ඔහුට විවේකයක් දෙන්න. ඉදිරියේදී අපි ඔහුටත් සාධාරණයක් ඉෂ්ට කරනවා" යැයි පැවසීය.
චරිත් සේනානායක මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු බවට පත් කළේ එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බවත්, ඉන්පසු ලෝක කුසලානය දක්වා ස්ථිර කළමනාකරුවෙකු පත් කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙහිදී පවසා සිටියේ දසුන් ශානක ඔහුට ලබාදුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බවත්, ඔහු දැනට කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ ඔහුට ගැළපෙනම ස්ථානයේ බවත්ය.
"අපි සාමාන්‍යයෙන් තරග පරදිද්දී තරගයෙන් තරගයට වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි දැන් ඉන්න ක්‍රීඩකයන්ට දිගටම අවස්ථාව ලබාදෙන්න. ක්‍රීඩකයෙක්ට අපි ඔහුගේ ස්ථානයේ දක්ෂතා දක්වන්න හැකි තරම් අවස්ථාව ලබාදෙනවා.
අපි එක්දින තරගාවලියේ තරග තුනක් පැරදුනා. ධනංජය ද සිල්වා වුණත් ක්‍රීඩා කළේ අංක 06 ස්ථානයේ. අවාසනාවකට ධනන්ජයට සහ දසුන්ට කණ්ඩායමේ අවස්ථාව දෙන්න පුළුවන් ස්ථානය තමයි ඒ. නමුත් හැමෝටම ඒ කෙනාගේ හොඳම තැන හෝ අවශ්‍ය තැන ක්‍රීඩා කරන්න බැරි වෙනවා, මොකද කණ්ඩායම සමබර කරන්න අවශ්‍ය නිසා" යැයි ඇන්ජෙලෝ මැතිව්ස් සඳහන් කළේය.
මෙහිදී කුසල් මෙන්ඩිස් දක්ෂතා අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"කිසිම ක්‍රීඩකයෙක්ට එක් තරගාවලියක් දීලා අපිට තීරණ ගන්න බැහැ. කුසල් මෙන්ඩිස් කියන්නේ මේ වන විට අපිට ඉන්න හොඳම ක්‍රීඩකයෙක්. අපි ඔහුට තවත් වැඩි වැඩියෙන් අවස්ථා ලබාදිය යුතුයි ඔහුගේ සුපුරුදු දක්ෂතා දක්වන්න"
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ තේරීම් කමිටුව කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නැරඹීමකින් තොරව ඔවුන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවත්, කනිෂ්ඨ තේරීම් කමිටුවක් යළිත් ස්ථාපිත කරන්නේද යන්නත්ය.
ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා,
"මේ වන විට කනිෂ්ඨ තේරීම් කමිටුවක් නොතිබුණාට අපේ තේරීම් කමිටුව මේ තේරීම් කළේ පළාත් තරගාවලියක් නරඹලා. ඒ ඉන්දියාව පැමිණීමට පෙර පැවැති පළාත් යොවුන් තරගාවලියෙන්. එම තරගාවලිය තේරීම් කමිටුවේ හැම සාමාජිකයෙක්ම හැම තරගයක්ම නැරඹුවා.
ඉන් අනතුරුවයි තේරීම් කළේ. අපේ ව්‍යවස්ථාව අනුව කනිෂ්ඨ තේරීම් කමිටුවක් තිබුණත් අවසන් තේරීම් කරන්න ඕන ජාතික තේරීම් කමිටුවෙන්. ඉතින් දැනට ජාතික තේරීම් කමිටුවෙන් එම තේරීම් කෙරෙනවා. අපේ යොවුන් කණ්ඩායමට මේ වසර අවසන් වෙනකම් ක්‍රීඩා කරන්න සංචාරයක් නැහැ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම වසර අවසන් වීමට පෙර කනිෂ්ඨ තේරීම් කමිටුවක් ස්ථාපිත කරන්න" යැයි පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක සුරංග ලක්මාල්ද එක්ව සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ