ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.
භානුක මීට පෙරද 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය අසමත් වී තිබුණු අතර, පසුව ඔහුව සංචිතයෙන්ද ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් අනතුරුව ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන් අතර, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඔහුගේ සමුගැනීම ඉවත් කර ගනිමින්, නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසියේය.
එහෙත් ඔහුව පසුගියදා නිමාවූ ඔස්ට්‍රේලියානු විස්සයි20 සංචිතයට කැඳවීමට පියවර නොගත් අතර, මෙම මස 24වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලියටද කැඳවීමක් කර නොමැත.
භානුක මෙවරත් කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කර තිබුණද, 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය අසමත්ව ඇත. කෙසේ වෙතත් ඉන්දීය සංචාරයට එක්වීමේ අපේක්ෂාවෙන් භානුක තවමත් ජෛව බුබුළ තුළ කටයුතු කරන අතර, මීට සතියකට පමණ පෙර ඔහු ජෛව බුබුළට එකතු වී තිබුණි. පෙරේදා (20දා) රාත්‍රියේ ඔහුට තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ ඔහුව ඉන්දීය සංචාරයට නම් කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා පවසා සිටියේ තමන්ට එක් ක්‍රීඩකයෙකුට පමණක් විශේෂයක් කළ නොහැකි බවයි.
"අපි භානුකට දැනුම් දුන්නා ඔහු 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය අසමත්වෙලා නිසා ඔහුව ඉන්දීය සංචාරයට රැගෙන යන්නේ නැහැ කියලා. මට භානුකට විතරක් විශේෂයක් කරන්න බැහැ. එතකොට අනෙකුත් ක්‍රීඩකයන්ට එය අසාධාරණයක් වෙනවා. මම යම් හෙයකින් භානුකට අවස්ථාව ලබාදුන්නොත්, 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය අසමත් වුණු තව ක්‍රීඩකයෙකුත් ඇවිත් අවස්ථාව ඉල්ලුවොත් ඔහුටත් ඒ අවස්ථාව දෙන්න වෙනවා.
ඉතින් මම භානුකට මේ තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. ඔහුට 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය ඉදිරියේදී සමත් වෙන්න පුළුවන් නම් අපි ඔහුව අනිවාර්යෙන් ඊළඟට තිබෙන සංචාර සඳහා කැඳවනවා" යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය යනු කුමක්ද?
'ස්කින්ෆෝල්ඩ්' (සමේ පටල මැනීමේ) පරීක්ෂණය යනු පුද්ගලයෙකුගේ ශරීර සංයුතිය සහ ශරීරයේ මේද ප්‍රතිශතය තීරණය කිරීමේ පැරණිතම සහ තවමත් බහුලව භාවිත වන ක්රමයකි. මෙම පරීක්ෂණය ශරීරයේ නිශ්චිත ස්ථානවල සම නැමීමේ ඝනකම මැනීමෙන් ශරීරයේ මේද ප්‍රතිශතය තක්සේරු කරයි.
මෙම නැමීම්වල ඝනකම සමට යටින් ඇති මේදයේ මිනුමක් වන අතර, එය චර්මාභ්යන්තර ඇඩිපෝස් පටක (subcutaneous adipose tissue) ලෙසද හැඳින්වේ. 'ස්කින්ෆෝල්ඩ්' ප්‍රතිඵල රඳා පවතින්නේ පුද්ගලයෙකුගේ වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව පුද්ගලයෙකුගේ ශරීරයේ මේද ප්‍රතිශතයේ ඇස්තමේන්තුවක් බවට පරිවර්තනය කරන සූත්‍ර මතය.
'ස්කින්ෆෝල්ඩ්' මිනුම් ගන්නේ කෙසේද?
සම නැමීම් මිනුම් සාමාන්‍යයෙන් ගනු ලබන්නේ ශරීරයේ දකුණු පැත්තේ නිශ්චිත ස්ථානවලය. පරීක්ෂකයා ස්ථානගත ස්ථානයේ සම ඇණ ගසා සමේ නැමීම යටින් පවතින මාංශ පේශිවලින් ඉවතට ඇද දමයි. එවිට සම සහ මේද පටක පමණක් රඳවා තබා ගනී. සම නැමීමේ ඝනකම මිලිමීටරවලින් මැනීමට විශේෂ සම නැමී කැලිපර් (Special skinfold calipers) භාවිත කරයි.
භාවිත කරන විශේෂිත සම නැමීමේ පරීක්ෂණ ප්‍රොටෝකෝලය අනුව මිනුම් ස්ථාන වෙනස් වේ. නමුත් සාමාන්‍යයෙන් ශරීරයේ පහත ස්ථාන හත ඇතුළත් වේ.
1. උදරය (Abdomen): බඩ ආශ්රිත ප්‍රදේශය
2. කඳ කොටසේ (Midaxilla): කඳ කොටසෙහි මැද රේඛාව
3. පපුව (Pectoral): පපුව මැද, කිහිල්ලෙන් ඉදිරියට
4. කලවා (Quadriceps): ඉහළ කලවයේ මැද
5. උරහිස (Subscapular): උරහිස් තලයෙහි කෙළවරට යටින්
6. උකුල (Suprailiac): උකුල් අස්ථියට මඳක් ඉහළින්
7. ට්රයිසෙප්ස් (Triceps): අතේ පිටුපස
ශරීරයේ මේද ප්‍රතිශතය ගණනය කිරීම
ඔබ 'ස්කින්ෆෝල්ඩ්'' මිනුම් ලබා ගත් පසු, ඔබට මෙම සංඛ්‍යා ශරීරයේ මේදයෙන් ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වනු ඇත. ශරීරයේ මේදය ප්‍රතිශතය ගණනය කිරීමට පහසුම ක්‍රමය නම් ඒ සඳහා වන මෘදුකාංගයක් භාවිත කිරීමයි. සම නැමීමේ ඝනකම මැනීමට විවිධ සූත්‍ර සහ ගණනය කිරීම් ඇත. ඉන් වඩාත් ප්‍රසිද්ධ ජැක්සන් සහ පොලොක් විසින් ප්‍රකාශයට පත් කරන ලද ගණනය කිරීමය.
'ස්කින්ෆෝල්ඩ්' මිනුම් නිරවද්‍යතාව
මෙම පරීක්ෂණවල නිරවද්‍යතාව රඳා පවතින්නේ භාවිත කරන කැලිපර වර්ගය, පරීක්ෂකයාගේ නිපුණතාව සහ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ පුද්ගලයෙකුගේ සජලන (person's level of hydration) මට්ටම මතය. කැලිපර භාවිත කිරීම අපහසු විය හැකි බැවින්, මේදය ප්‍රතිශතය තක්සේරු කිරීම සඳහා සමේ පටල මැනීම හොඳම තේරීම නොවිය හැකිය.
කෙසේ වෙතත්, ඔබ සමාන තත්ත්වයන් යටතේ එකම පරීක්ෂකයා විසින් පරීක්ෂණය සිදුකර ඇත්නම් නිරවද්‍යතාව තරමක් අඩු වුවද, කාලයත් සමග ශරීර සංයුතිය වෙනස් වීම තීරණය කිරීමට පරීක්ෂණය ප්‍රයෝජනවත් ක්‍රමයක් සොයාගත හැකිය.
පවතින වෙනත් තාක්ෂණය සමගින්, සමේ පටල පරීක්ෂා කිරීම තරමක් පැරණි ආකෘතියක් බවට පත්වෙමින් තිබේ. වර්තමානයේ බොහෝ පෞද්ගලික පුහුණුකරුවන් 'ස්කින්ෆෝල්ඩ්'සෘජුව මැනීම වෙනුවට සිරුරේ සංයුතිය මනින විද්‍යුත් සම්බාධන ක්‍රම සහ පරිමාණයන් භාවිත කරයි.
(ස්ටෝනි බ්රූක් විශ්වවිද්‍යාලයේ හෘද රෝග විශේෂඥ අනීෂා ෂා ලියූ ලිපියක් ඇසුරෙනි)
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 'ස්කින්ෆෝල්ඩ්' පරික්ෂණය කරන අයුරු