එකදු ශ්‍රී ලංකා වාර්තාවක් හෝ තරග වාර්තාවක් බිහි නොවුණු මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාක්ෂි සහිතවම බලධාරීන්ට පෙන්වා දුන්නේ තණකොළ පිට්ටනිවල තමන්ට ප්රාතිහාර්ය පෑමට නොහැකි බවයි. මේ බව ඔවුන් (බලධාරීන්) තේරුම් ගත්තා නම්, යළි කිසිදු දිනක ජාතික මහා ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා තරග කෘත්‍රිම ධාවන පථයක් නොමැති ක්‍රීඩාංගණයක සංවිධානය නොකරනු ඇත.
ජාතික මහා ක්‍රීඩා උළෙල යනු ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන අතර, එනිසාමට එයට හෙළයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙස හඳුන්වයි. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ඔලිම්පික් උළෙලයි.
එවන් වටිනාකමක් ඇති ජාතික මහා ක්‍රීඩා උළෙලේ 45 වැනි දිගහැරුමයි පසුගිය ඉරිදා (27දා) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී අවසන් වූයේ.
ජාතික මහා ක්‍රීඩා උළෙලක සම්ප්රදාය වන්නේ ක්‍රීඩා උළෙලට අන්තර්ගත ක්‍රීඩා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පවත්වා, මලල ක්‍රීඩා ඇතුළු තෝරාගත් ක්‍රීඩා කිහිපයක් පමණක් සමාප්ති උත්සවයට එක්කිරීම. ඒ අනුව පසුගිය මාර්තු මස නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයෙන් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ විය. සමාප්ති උත්සවය වනවිට ක්‍රීඩා 26ක් පවත්වා තිබුණි.
කෙසේ නමුත් මෙවර සමාප්ති උත්සවය පවතින කාලසීමාව අධික වර්ෂා සහිත කාලයක් වනු ඇති බව ඊට පෙරදීම කාලගුණ වාර්තාවල දැක්වුණි. එනිසාම මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ලේ නොපවත්වා කොළඹදී පැවැත්වීමේ කතිකාවතක් ද නිර්මාණය විය. කෙසේ නමුත් බදුල්ලේදී පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොවුණි. %වහින්නේ නැහැ, අපට විශ්වාසයි^ බලධාරීන්ගේ තීරණය විය. එහෙත් බලධාරින්ගේ විශ්වාසය වැරදුණි.
මෙවර ක්‍රීඩා උළෙල පැවැති දින කිහිපය (ඔක්. 24 - 27) පුරාම වර්ෂාවෙන් බාධා විය. කෘත්‍රිම ධාවන පථයක් නොමැති අඩුපාඩුව හොඳින්ම දැනුණි. වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට %මඩ ගොඩේ^ දුවන්න සිදුවිය. මෙය ඇමතිවරු, ක්‍රීඩා අධ්යක්ෂවරු, ජෙනරාල්වරු, පරිපාලකයෝ මේ සියලු දෙනාම ඇස් දෙකෙන්ම දැක්කේය.
අවසානයේ තරගයෙන් තරගයට ධාවන මංතීරු ගල්රෝලෙන් තැලීමට සිදුවිය. වර්ෂාව මධ්‍යයේ සිදුකළ එය %ගඟට ඉනි කැපුවා^ වැනි විය. එහෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කරනවාට අමතරව කඩතොළු වූ ධාවන පථ හදාගැනීමටත් සිදුවිය.
අතිවිශාල මුදල් සම්භාරයක් වැය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තව තවත් දක්ෂතා දැක්වීමට අවස්ථා නිර්මාණය කර දීමයි. නමුත් මඩ ගොඩේ දුවන්නට සිදුවන මෙවැනි උළෙල සංවිධානය කරනවාට වඩා, නොකරනවා නම් හොඳ යැයි අපි සිතමු. එවිට අඩුම තරමේ ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් වියදම් කරන අතිවිශාල මුදල් සංඛ්‍යාව ඉතිරි කර, අනාගතයේ කවදා හෝ දවසක එම මුදල් එක් පළාත් ක්‍රීඩා සංකීර්ණයක කෘත්‍රිම ධාවන පථයක් එළීමට හෝ යොදාගත හැකි වනු ඇත.
කෙසේ නමුත් මෙවර සාෆ් ක්‍රීඩා උළෙල (නේපාලය/දෙසැ.) පෙනී පෙනී තිබියදී %මඩ ගොඩේ^ වැටෙන්න වෙන බව තේරුම් ගත් ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි නොවන බව දන්වා සිටියෝය. එමෙන්ම තවත් පිරිසක් ලෝක ආරක්ෂක ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ඒ දිනවල සිටියේ චීනයට ගොසිනි. එනිසා මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වූයේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් නොමැතිවය.
ඒ අනුව ක්‍රීඩා උළෙලට සහභාගි වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බහුතරය කනිෂ්ඨයන්ය. ජ්‍යෙෂ්ඨයන් නොමැති තැන කනිෂ්ඨයන්ගේ, නැතිනම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතය ගැන අවබෝධයක් ගැනීමට හෝ මෙහිදී අවස්ථාවක් තිබුණි. එහෙත් මඩ ගොඩේ දුවන ඔවුන්ගෙන් මලල ක්‍රීඩාවේ අනාගතය ගැන කවර අවබෝධයක් ගන්නද..?.
මෙවර ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව වූයේ මධ්‍යම පළාත නියෝජනය කළ 20 හැවිරිදි අමාෂා ද සිල්වාය. ඇයට මීටර 100 ඉසව්ව අවසන් කිරීමට තත්. 12.13ක කාලයක් ගත වූවාය. කෙසේ නමුත් ඇය 2018 වසරේ ජුනි මස ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී, ආසියාවේ දෙවැනි වේගවත්ම ක්‍රීඩිකාව වූයේ තත්. 11.71ක දක්ෂතාවක් දක්වමිනි. එය ඇගේ පෞද්ගලික හොඳම කාලයද වෙයි.
එම තරගාවලියේදීම අමාෂා මීටර 200 ඉසව්වේද සිය පෞද්ගලික හොඳම කාලය (තත්. 24.47) වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය. එහෙත් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් අමාෂාට, එම ඉසව්ව අවසන් කිරීමට තත්. 25.00ක කාලයක් ගත විය.
එමෙන්ම ඉහත තරගාවලියේදීම දිල්ෂි කුමාරසිංහ මීටර 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ විනාඩි 2.04.53ක දක්ෂතාවක් දක්වමිනි. එම ඉසව්වේ අදටත් එය ජාතික කනිෂ්ඨ වාර්තාවක් වෙයි. කෙසේ නමුත් ඇය බදුල්ලේදී එම ඉසව්ව අවසන් කළේ විනාඩි 2.10.26ක් ලෙස පසුබෑමක් පෙන්වමිනි. මේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ අසාර්ථකත්වයේ උදාහරණ කිහිපයක් පමණි.
එම නිසා මෙරට ක්‍රීඩාවේ වගකීම ඇති බලධාරීන් තේරුම්ගත යුතු කරුණ නම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තණකොළ පිට්ටනිවල සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම අසීරු බවයි.
මෙවර දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට මෝටර් රථ 02ක් ලබාදුන් අතර, පසුගිය වර්ෂවලට සාපේක්ෂව රන්, රිදී, ලෝකඩ පදක්කම් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් ඉහළ දමා තිබුණි. එය අගය කළ යුතු කරුණක් වුවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පහළ ගොස් ඇති පසුබිමක එවන් ත්‍යාග ලබාදීමෙන් රටට වන සෙතක් නම් නොමැති බව අපගේ හැඟීමයි. මෙවර සමාප්ති උත්සවයේදීද පැවසූ කරුණක් වූයේ ලබන වසරේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් වෙනුවෙන් රු. 50,000, රු.30,000 හා රු. 20,000 ලෙස මුදල් ත්‍යාග ලබාදෙන බවයි. ඒ අනුව රන් පදක්කම් වෙනුවෙන් පමණක් අඩුම තරමේ රු. 13,450,000ක (එක්කෝටි තිස්හතර ලක්ෂ පනස් දාහක්) මුදලක් ලබන වසරේදී වැය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවනු ඇත. එහෙත් ලබන වසරේ ක්‍රීඩා උළෙලත් මෙසේම වුවහොත් ත්‍යාග මුදල් වැඩි කිරීමෙන් පළක් වේවිද..?.
එම නිසා මලල ක්‍රීඩකයන්ගේ දක්ෂතා දියුණු කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති වටපිටාවක වටිනා මුදල් ත්‍යාග ලබාදීමෙන් හෝ වර්ණවත් උත්සව පැවැත්වීමෙන් රටට අත්වන සෙතක් නොමැත.
1972 වසරේදී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු වරට පැවැත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ පැවැති එකම කෘත්‍රිම ධාවන පථය පැවැති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය. නමුත් ජාතික මහා ක්‍රීඩා උළෙල නුදුරේදීම සිය පණස්වැනි සංවත්සරය සැමරීමේ සූදානමින් සිටින මේ මොහොත වන විටත්, අවාසනාවට අපට අදටත් ඇත්තේ එදා තිබුණු සුගතදාස කෘත්‍රිම (නවීකරණය වූ) ධාවන පථය පමණි.
ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතිහාසය තුළ අවස්ථා 13කදී සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වා තිබීම ඇරෙන්න, අවස්ථා 32කදීම පවත්වා ඇත්තේ කොළඹින් පිටතදීය. බදුල්ලට ජාතික මහා ක්‍රීඩා උළෙලක් පළමු වරට පැමිණියේ 1980 වසරේදීය. ඒ බදුල්ල මහජන (වත්මන් වින්සන්ට් ඩයස්) ක්‍රීඩාංගණයටය. එය පවත්වා අද වනවිට වසර 39ක් ගෙවීගොස් අවසන්ය. අදටත් බදුල්ලේ තිබෙන්නේ තණකොළ පිට්ටනියකි.
එසේනම් එදා සිට අද දක්වා ගෙවී ගිය වසර 47ක කාල සීමාවේ ක්‍රීඩා අමාත්‍යවරු කීදෙනෙකු මෙරට ක්‍රීඩාව පාලනය කරන්නට ඇතිද ?. නමුත් ක්‍රීඩාකළ හැක්කේ සුගතදාස ක්‍රීඩාංගණයේ පමණි. දියගම කෘත්‍රිම ධාවන පථයක් තිබුණත්, අද එය අතහැරදා හා සමානය.
එමනිසා ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වෙන්නේ අමාෂාගෙන් යළි සුසන්තිකා කෙනෙකුය. අරුණ දර්ශනගෙන් (වත්මන් මී. 400 ආසියානු කනිෂ්ඨ ශූරයා) තවත් සුගත් කෙනෙකු දැකීමටය. සුසන්තිකා, සුගත්, දර්ශා, ශ්‍රියානි, රොහාන් ප්‍රදීප් යන නම් එදා ධාවන පථයෙන් ඇසෙන විට ඇති වූයේ ප්‍රබෝධයකි. නමුදු ඔවුන් ක්‍රීඩාවෙන් නික්ම යාමත් සමග අද මලල ක්‍රීඩාව පාළුවට ගොසිනි. එය තවදුරටත් එසේම තියනවාද?, තීරණය ක්‍රීඩා බලධාරීන්ට භාරයි.