ක්රිස් වොක්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා හා ජොස් බට්ලර්ගේ උත්සාහවන්ත පිතිහරඹය හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මැන්චෙස්ටර්හිදී පෙරේදා (08දා) අවසන් වූ මෙම තරගයේ එංගලන්තයට ජයග්රහණය සඳහා ලකුණු 277ක ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 07ක් දැවී පසුකර යාමට ඔවුහු සමත් වූහ. මෙහිදී අගනා පිතිහරඹයක නිරත වූ ක්රිස් වෝක්ස් (නොදැවී 84) හා ජොස් බට්ලර්ගේ (75) ඉනිම් එංගලන්ත ජයග්රහණයේ තීරණාත්මක සාධකය වූහ. ඔවුන් දෙදෙනා ලකුණු 117කට කඩුලු 05ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 06 වැනි කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් පවත්වා ඉනිම ජයග්රහණය පෙනෙන මානයට රැගෙන පැමිණියහ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 326/10ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 219/10ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානයට ලකුණු 107ක වාසියක් හිමිවූවත්, ඔවුන් සිය දෙවැනි ඉනිමේදී රැස් කළේ ලකුණු 169/10ක් පමණි. ඒ අනුව එංගලන්තයට ජයග්රහණය සඳහා ලකුණු 277ක ඉලක්කයක් හිමි විය.
තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්රිස් වෝක්ස් සම්මාන දිනා ගත්තේය. තරග තුනකින් යුත් මෙම තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 13 වැනිදා සවුත්හැම්ටන්හිදී ආරම්භ වේ.