ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් එළඹෙන ජූලි මස පැවැත්වීමට සැලසුම්කර තිබෙන ටෙස්ට් තරග සංචාරය සඳහා බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වීමට අකමැත්ත පළකර තිබීම හේතුවෙන් එම තරගාවලිය කල්යනු ඇති බව වාර්තා වේ.
"මේ තත්ත්වයත් (කෝවිඩ්-19) එක්ක අපි කොහොමද ලංකාවට යන්නේ. වයිරස් එකත් එක්ක අපිට නැවත රටට එන්න පුළුවන් වෙයිද. හිතමු අපේ පවුලේ සාමාජිකයෙකුට පුංචිම හෝ දෙයක් වුණොත්, ඒ සියලු දේ අමතක කරලා අපට ක්‍රීඩා කරන්න පුළුවන්ද" යනුවෙන් එරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකුට පවසා ඇත. 'කෝවිඩ්-19' වයිරසයේ බලපෑමට පෙර බංග්ලාදේශය එළඹෙන ජූලි මාසයේ තෙවැනි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර, අයි.සී.සී. ටෙස්ට් ශූරතාව යටතේ තරග තුනකින් සමන්විතව පැවැත්වෙන එම තරගාවලිය කොළඹ, ගාල්ල හා මහනුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි.