බංග්ලාදේශය ලකුණු 28 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
තරගාවලියේ 41 වැන්න ලෙසින් මෙම තරගය ඊයේ (02දා) බර්මින්හැම්හිදී පැවැත්විණි.
මේ අනුව ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඉඩකඩ වෙන් කර ගත් දෙවැනි කණ්ඩායම බවට පත් වූයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.
ඉන්දියාවෙන් එල්ල වූ ලකුණු 315 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට පන්දු වාර 48 කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුනු 286ක් පමණි.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ලට පන්දු 176කදී ලකුනු 180ක සබඳතාවක් පැවැත්වූහ. එය මෙවර ලෝක කුසලානයේදී ඉනිමකදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුනු සබඳතාව විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 92කදී ලකුණු 104ක් වාර්තා කළේ හතරේ පහර 07ක් හා හයේ පහර 05 ක් සමගිනි. ෂර්මා මෙවර තරගාවලියේදී වාර්තා කළේ තම සිව්වැනි ශතකය මෙන්ම 26 වැනි එක්දින ශතකයයි. මේ සමගින් ලෝක කුසලාන තරගාවලියක වැඩිම ශතක ප්‍රමාණයක් හිමි කර ගනිමින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර බිහි කළ වාර්තාව සම කිරීමටද රෝහිත් සමත් විය. එමෙන්ම ඔහු මෙහිදී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත් වූයේ ඉනිම් 07 කදී ලකුණු 544ක් රැස් කරමිනි. ඔහුට අගනා සහයක් ලබා දුන් ලෝකේෂ් රාහුල් ලකුණු 77 ක් වාර්තා කළේ සිය සිව්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමිනි.
නමුත් ඉන් අනතුරුව ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඉන්දු මැදපෙළේ කිසිදු සබඳතාවකට ලකුණු 50 සීමාව කරා පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. එහි මූලිකයා වූ වේග පන්දු යවන ක්‍රීඩක මුෂ්ටෆිසූර් රෙහෙමාන් ලකුණු 59 කට ඉන්දීය කඩුලු 05ක් දවා ගත්තේ මෙවර තරගාවලියේදී පන්දු යවන්නෙකු වාර්තා කළ 08 වැනි කඩුලු 05 අවස්ථාව වාර්තා කරමිනි. එමෙන්ම එය මෙවර තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි කඩුලු 05 දවා ගැනීම් අවස්ථාව ලෙසද සැළැකේ.
කෙසේ වෙතත් සිය පන්දු වාර 50 අවසනදී ඉන්දියානු පිතිකරුවෝ කඩුලු 09ක් දැවී ලකුණු 314ක් රැස් කළහ.
ඒ අනුව ලකුණු 315ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් ආරක්ෂාකාරී ලෙස ලකුණු රැස් කළත් මුළු ලකුණු සංඛ්‍යාව 74ක් වන විට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දු පන්දු යවන්නෝ සමත් වූහ. නමුත් ගැලැවුම්කරුවාගේ කර්තව්‍යය කරට ගත් බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් ලකුණු 66 ක් රැස් කළේ මෙවර තරගාවලියේ සිය සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි. එහෙත් ෂකිබ්ට අවශ්‍ය සහය බංග්ලාදේශ මැදපෙළින් නොලැබීම නිසා ලකුණු 179 ක් තුළ ඔවුන්ගේ කඩුලු 06ක් බිඳ වැටීමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත් විය.
ඉන් අනතුරුව සබීර් රෙහේමාන් සමගින් එක්වූ මොහොමඩ් සයිෆුඩීන් බංග්ලාදේශ ඉනිමට ජයග්‍රහණ බලාපොරොත්තු එක් කිරීමට සමත් වූයේ පන්දු 56 කදී ලකුණු 66ක සබඳතාවක් පවත්වමිනි. සබීර්ගේ කඩුල්ලත් සමග බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු හතර ලකුණු 41 ක් තුළ බිඳ හෙළීමට ඉන්දීය වේග පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ ජයග්‍රහණයේ අවසන් මොහොත දක්වාම සටන් කළ මොහොමඩ් සයිෆුඩීන් පන්දු 38 කදී නොදැවී ලකුණු 51 ක් රැස් කළද විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 04 ක් බිඳ හෙළීමට සමත් විය.
තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ රෝහිත් ෂර්මාට හිමි විය. මෙම තරගයේ පරාජයත් සමග බංග්ලාදේශයට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටිණ.