හොඳ පුහුණුවක් හා කැපවීමක් ඇතිකරගෙන තමන් දිනූ ඔලිම්පික් පදක්කමට එහාගිය රන් පදක්කමක් දිනාගැනීමට අවශ්‍ය මඟ විවරකරගන්නා ලෙස ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.
ජාතික ඔලිම්පික් කමිටුව හා ක්රිස්බෝ ආයතනය එක්ව ආරම්භකර ඇති ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන පිළිබඳ පසුගියදා (24දා) පැවැති දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජයසිංහ මහත්මිය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ,
"මට මතක්වෙන්නේ මගේ පොඩි කාලේ. මම වගේම මගේ සමකාලීනයන්ට මොන බාධක, අසීරුතා කොපමණ තිබුණත් ඒ සියල්ල ධෛර්යයක් කරගෙන අපි ඉදිරියට ආවේ. අපට යම්කිසි ඉලක්කයක් තිබුණා. අපිත් එක්ක බලපුවාම අද ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාසනාවන්තයි. අනාගත පරම්පරාවට මම කියන්නේ ඔබට ඉලක්කයක් තියාගන්න.
අපි බොහෝම අඩුපාඩු මැද්දේ ආපු අය. නමුත් මම හිතන්නේ අපිට තිබුණ එකම ශක්තිය අපේ දුප්පත්කම. ඔබ ජීවිත වර්ණවත් කරගන්න නම් තමන් තමන්ටම කියලා වටිනාකමක් ඇතිකර ගත යුතුයි. මම දකිනවා සමහර අය ක්‍රීඩාව කරන්න ආවට, තරගවලට ඉදිරිපත් වුණත්, ඔවුන් හිතට අරගෙන පුහුණුවීම් කරන්නේ නැහැ. ඒ නිසා දක්ෂ ළමයට වෙන්නේ%අවෝ ගියෝ^ වැඩක්.
තමන්ගේ ගෙදර පසුබිම ගත්තාම නොයෙකුත් අඩුපාඩු තිබෙන්න පුළුවන්. මට ඒ කාලේ ක්‍රීඩා කරන්න එන්න බස් එකට දෙන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා හොඳ පුහුණුවක් ඇතිකරගෙන, හොඳ කැපවීමකින් නිෂ්චිත අරමුණක් කරා ගමන් කරන්න. ලෝකඩ පදක්කමක් නෙමෙයි, රත්තරන් පදක්කමක්ම ගේන්න.
නමුත් එක පාරම ඔලිම්පික් සිහිනයක් බැඳගන්න එපා. පියවරෙන් පියවර ඉදිරියට යන්න. හරියට ඔබ පාසලේ ඉගෙනගන්න පන්ති පිළිවෙළට ඉහළට යනවා වගේ. පළමුව ලංකාවේ පළවෙනියා වෙන්න. ඉන් පසු දකුණු ආසියාව, ආසියාව දිනලා එතනින් එහාට යන්න. අපට මෙහෙම අනුග්‍රාහකත්වයන් (ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාදීම) ඒ කාලයේ තිබුණේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව ගැන හරිම ආඩම්බරයි. මම හිතනවා මේක කාලීනව ලැබූ ආශිර්වාදයක් කියලා" යනුවෙන් පැවසුවාය.