නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) පැසිපන්දු සම්මේලනයට ලබාදුන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අද (21දා) සවස 6.00ට පැවැත්වෙන ජාතික ක්‍රීඩා සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව 'අද' ට වාර්තා වේ.
එහිදී පැසිපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ගැනීමට නියමිත අතර, මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින අතර, ඔහු මෙම හමුව සඳහා වීඩියෝ දුරකථන තාක්ෂණයෙන් එක්වීමට නියමිතය.
පැසිපන්දු සම්මේලනයේ වත්මන් පරිපාලනය විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි පුහුණුවීම් සහ එම තරගාවලිය සඳහා ලබාදුන් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ වාර්තාව පසුගිය කාලය පුරා නිලධාරීන් සඟවාගෙන සිටි බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් යළිත් මෙම වාර්තාව පසුගිය සතියේ අමාත්‍යවරයාගේ අතට පත්වී තිබුණු බවත් අනාවරණය වේ. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම වාර්තාව සඟවාගෙන සිටි නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ පැසිපන්දු ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ එම ක්‍රීඩාවේ ප්‍රවීණයන් පිරිසක් පසුගියදා (18දා) ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී මෙම පරීක්ෂණ කඩිනම් කර පැසිපන්දු ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රියාකරන්නැයි ඉල්ලීමක් කළ අතර, ඒ අනුව මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නියෝග කළේය.