සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පෙරේදා (31දා) අවසන් වූ පුහුණු තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ශංකගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්වීම තම ක්‍රිකට් දිවියේ ලැබූ භයානකම අත්දැකීමක් බව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් පවසයි.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර මෙම පුහුණු තරගය පැවති අතර, මෙම සිදුවීමෙන් පසු පැතුම්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනිණ.
'ඒ වගේ දේකට කොහොමත් බය හිතෙනවා. ඒක සාමාන්‍යයයි' බට්ලර් පවසයි. මෙහිදී බට්ලර් වැරෙන් එල්ල කළ පහර ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි පැතුම්ගේ හිස පැලඳි හෙල්මටයේ වැදී ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් ලෙස රැක ගත්තේය. එහිදී වහාම පැතුම්ට ප්‍රථමාධාර ලබාදී පිටියෙන් ඉවතට ගෙනයාමට එංගලන්ත වෛද්‍ය කණ්ඩායම් පියවර ගැනීම විශේෂත්වයකි.
'ෂෝට් ලෙග් කියන්නේ පන්දු රකින්න නරකම තැනක්. මම ඇත්තටම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එයාට ලොකු ආබාධයක් නොවෙන්න කියලා' හෙතෙම පවසයි.
පැතුම් රෝහල් ගතකිරීමෙන් පසු ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයට යොමුකළ අතර, එහිදී ඔහුගේ තත්ත්වය අවදානම් නොවන බව තහවුරු කළේය. ඊයේ (01දා) දිනයේදී පැතුම් රෝහලෙන් පිටව ගියේය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.