ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයී.සී.සී.) පියවර ගෙන ඇත. ඒමෙන්ම මෙම වරද නිසා ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.
නාග්පූර්හි පැවති මෙම තරගයේ 46 වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම වන අයුරු කැමරාවල පහසුවෙන් සටහන් විය. ඒහිදී ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අත්ල මත තිබූ වේදනානාශක ක්‍රීම් වර්ගයකින් ස්වල්පයක් ගෙන සිය දබරැගිල්ල ආධාරයෙන් පන්දුවෙහි තවරන අයුරු කැමරා රූපසටහන්හි සනිටුහන් විය.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහට ලක්වූයේ දහඩිය හැර අනෙක් කිසිවක් ක්‍රිකට් පන්දුවක් මත තවරා ක්‍රීඩා කිරිම ක්‍රිකට් නීතිරීති කඩකිරීමක් වන නිසාය. මෙම සිදුවීම පැහැදිලිව පෙනි පෙනී තිබියදී අයි.සී.සි.ය ඉන්දීය ක්‍රීඩක ජඩේජාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී කථාබහක් ඇති විය.
කෙසේ වෙතත් ජඩේජා මෙහිදී පන්දුව පළුඳු නොකළ බව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.
අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද නිවේදනයක් නිකුත් තරමින් ජඩේජා පන්දුවේ දිස්නය වැඩි කිරිම සඳහා වේදනා නාශක ක්‍රීම් වර්ගයක් පන්දුවේ ආලේප කළ බව පිළිගත්තේය.
මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 132 ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමිකර ගත්තේය.
ඒහිදී තරගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ජඩේජා තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.