මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 08 වැනි තරගය අද (01දා) චෙස්ටර්-ලේ-ස්ට්‍රීට්හි රිවර්සයිඩ් පිටියේදී පැවැත්වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගිනි. කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 07 බැගින් ක්‍රීඩා කර ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 06ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමත්, ප්‍රසාද ලකුණු 03ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේ බ.ඉ. කොදෙව් කණ්ඩායමත් පසුවේ.
පසුගිය සිකුරාදා (28 වැනිදා) දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය කඩුලු 09කින් පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය ජය ගත්තද, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. එහෙත් රටක් ලෙස මෙන්ම කණ්ඩායමක් ලෙස සැලකීමේදී ඉදිරි තරග දෙක හෝ ජයග්‍රහණය කිරීම වැදගත්ය.
අද තරගය පැවැත්වෙන්නේ ද. අප්‍රිකාව සමග පැවැති පිටියේ බැවින් ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය හිමිකර ගතහොත් ප්‍රථමයෙන් පන්දු යවනු ඇතැයි විශ්වාස කළ හැකිය. ප්‍රථමයෙන් පන්දු යැවුවද, දෙවැනියට පන්දු යැවුවද පන්දු යවන්නන් අතර හොඳ සම්බන්ධතාවක් නොමැති නම් ප්‍රතිවාදී පිතිකරුවන් පීඩනයට හසුකර ගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාව සමග පැවැති තරගයේදී පෙන්නුම් කළේය. විශේෂයෙන්ම නුවන් ප්‍රදීප් අසනීප තත්ත්වයෙන් සිටි බැවින් ඔහු වෙනුවට කණ්ඩායමට නම් කළ සුරංග ලක්මාල්ගෙන් ලසිත් මාලිංගට අවශ්‍ය සහාය නොලැබුණු බව පැහැදිලිව දැකගත හැකිවිය. එබැවින් ද. අප්‍රිකානුවෝ පහසුවෙන් ලකුණු රැස් කළහ. සුරංග ලක්මාල් හෝ කසුන් රාජිත අද තරගයට ක්‍රීඩා කරන්නේ නම්, තම අන්තයෙන් ලකුණු ලබා නොදී මාලිංගට සහායක් දැක්විය යුතුව. එසේ නොවුණොත් කෙතරම් දක්ෂ පන්දු යවන්නෙකු වුවද කඩුලු දවාගැනීම දුෂ්කරය.
එමෙන්ම ද. අප්‍රිකානු වේග පන්දු යවන්නන් තණතිල්ල ගැන වැටහීමක් ලබා ගනිමින් ඊට අනුගත වුවද, එම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තණතිල්ල ගැන නිසි අවබෝධයෙන් පන්දු යැවූ බවක්ද දැකගත නොහැකි විය. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තමන් ගැන තවතවත් සිතාබැලිය යුතුය.
ලෝක කුසලාන තරගාවලියේදී පමණක් නොව, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් දක්වන දුර්වල ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීමට ප්‍රධානම හේතුවය. මෙරට ක්‍රීඩාලෝලීන් සියලු දෙනාම විශ්වාසය පළකළේ ලෝක කුසලාන තරගාවලියේදී හෝ එම දුර්වලතාව පහව යනු ඇති බවයි. එහෙත් එය එසේ සිදුව නොමැති බව මේ වනවිට සනාථ වෙමින් තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ප්‍රධානම හේතුව වූයේ අංක 4, 5 සහ 6 යන ස්ථානවල ක්‍රීඩා කරන පිතිකරුවන් අසාර්ථක වීමය. ඔවුන් කිසිදු අවස්ථාවකදී කණ්ඩායම වෙනුවෙන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු නොකළේය. අද තරගයේදී සහ අවසන් තරගයේදී ඔවුන් ලකුණු අතරට ප්‍රවිෂ්ට වුවද, මේ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුව අවසානය.
ද. අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවට පහර දෙන අවස්ථාවේදී ලකුණු 230ක් ලබාගත්තේ නම්, තරගයක් ලබාදිය හැකියැයි සිතුවද, ද. අප්‍රිකානු පිතිකරුවන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ආකාරය අනුව ලකුණු 350ක් ලබා ගත්තද, එම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවනු බවක් පෙනිණි. ඒ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් තණතීරුව ගැන නිසි අවබෝධයක් ලබා නොගත් බව නොවේද? එහෙයින් ද. අප්‍රිකානු පිතිකරුවන් පහසුවෙන් ලකුණු රැස් කරන්නත්, ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට හසුවන්නත් හේතුව අපේ පිතිකරුවන්ගේ අදක්ෂතාව විය යුතුය.
දිනේෂ් මන්ත්රිවිතාන