ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.
ධනුෂ්ක අද (14දා) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර ෂෙහාන් ජයසූරිය සංචිතයට එක් වීමට නියමිතය.
ධනුෂ්ක පෙරේදා (12) රාත්‍රී පැවැති පුහුණු සැසියේ පන්දු රැකීමේ පුහුණුවීම්වලදී කොන්දේ ආබාධයට ලක්ව ඇති බව දැනගන්නට තිබේ. ධනුෂ්ක මීට පෙරද කොන්දේ ආබාධයකට ලක්ව සිටි බව වාර්තා වේ.
ධනුෂ්ක යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් විවේක ගතයුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබීම නිසා ඔහුට නැවත ශ්‍රී ලංකාවට ඒමට සිදුවිය.
ධනුෂ්ක මේ වන ට එක්දින ජත්‍යන්තර තරග 33 කදී ලකුණු 957 ක් රැස්කර තිබේ. 27 හැවිරිදි ධනුෂ්ක ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් 30.87 ක සාමාන්‍යයක් රඳවාගෙන තිබේ. මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ද ආබාධයකට ලක්වීමෙන් සංචිතයෙන් ඉවත්වීමට සිදුවූ අතර එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවීය.
ශ්‍රී ලංකා පිල ඊයේ (13දා) රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ දෙවැනි පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබුණි. එම පුහුණු සැසියට පන්දු යවන්නන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පුහුණු සැසියක් බවද වාර්තා විය.
ශ්‍රී ලංකා පිල පෙරේදා ඩුබායි නුවරට පැමිණි අතර එදින රාත්‍රී පළමු පුහුණු සැසියට සහභාගි විය.
මෙම තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (15දා) පැවැත්වේ.
යොහාන් භාසුර ඩුබායි සිට