13 වැනි ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 05ක ජයක් ලැබීමට එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
පසුගියවර ශූරයන් හා අනුශූරයන් (මුම්බායි - චෙන්නායි) මුණගැසුණු මෙම තරගය පෙරේදා (19දා) අබුඩාබි හිදී පැවති අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 162/9ක් රැස්කිරීමට සමත් විය.
ඉනිමට සාර්ථක ආරම්භයක් නායක රෝහිත් ශර්මා හා ක්වින්ටන් ඩි කොක් ලබාදුන් අතර, ඔවුහු පළමු කඩුල්ලට ලකුණු 46ක (පන්. 4.4) වේගවත් සබඳතාවක් පැවැත්වූහ. ඒ හේතුවෙන් පළමු පන්දුවාර දහය තුළදී ලකුණු සියයේ සීමාවට (ලකුණු 92/3) ළඟාවීමට හැකිවිණි. කෙසේ නමුත් මුම්බායි මැද පෙළ අසාර්ථක වූ අතර, ඒ හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලබාදීමට තිබූ අවස්ථාවද අහිමි විය. චෙන්නායි වෙනුවෙන් නිගිඩි කඩුලු 03ක් දවා ගත්තේය.
මෙහිදී පිළිතුරු ඉනිම ක්රීලඩා කළ චෙන්නායි කණ්ඩායම තරගයේ අවසන් පන්දු වාරයේදී ලකුණු 166/5ක් රැස්කර ජයග්රාහණය සම්පූර්ණ කර ගත්තේය.
චෙන්නායි ජයග්රහණයේ නියමුවා අම්බති රයුදු වූ අතර, ඔහු අගනා ලකුණු 71ක් ඉනිමට එක් කළේය. ඊට ඩු ප්ලෙසිස්ගෙන් ලකුණු 58ක් හිමි විය. ඔවුන් දෙදෙනා දෙවැනි පන්දුවාරයේදී ලකුණු 06කට කඩුලු 02ක් බිඳවැටී අසරණව තිබූ ඉනිම මුළු ලකුණු 121ක් දක්වා ඉදිරියට රැගෙන ආහ. එහිදී රයුදු හා ප්ලෙසිස් අතර පන්දු 84කට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගුණි.
කෙසේ නමුත් රයුදු දැවී යාමත් සමග තරගය නැවත වරක් කණ්ඩායම් දෙකටම විවෘත විය. එහෙත් ඉන් මුම්බායි පන්දු යවන්නන්ට හිස එසවීමටවත් අවස්ථාවක් ලබා නොදුන් සෑම් කරන් පිටියට පැමිණි විගසම ලකුණු 18ක් එක්කර අවදානම් සීමාවෙන් චෙන්නායි කණ්ඩායම ගලවා ගත්තේය. මෙහිදී කරන් මුහුණ දුන්නේ පන්දු 06කට පමණක් වූ අතර, ඊට අලංකාර හයේ පහර 02ක්ද ඇතුළත් විය. තරගයේ වීරයා ලෙස අම්බති රයුදු සම්මාන දිනාගත්තේය.
මෙහිදී පාන්ද්යා. හා ජේම්ස් පැටින්සන් දවාගැනීම සඳහා දායක වූ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ විශිෂ්ට ගණයේ උඩපන්දු රැකීමද චෙන්නායි ජයග්රහණයේ සාධක විය. එමෙන්ම මුම්බායි කණ්ඩායම දැක්වූ දුර්වල පන්දු රැකීම චෙන්නායි ජයග්රහණය වඩාත් පහසු කළේය.
මුම්බායි කණ්ඩායම අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ශූරතා (04) දිනා ඇති කණ්ඩායම වුවත්, ඔවුන් පළමුවරට ශූරයන් වූ 2013 වසරේ සිට මෙම තරගය දක්වාම තරගාවලිය ආරම්භ කළ තරගය පරාජය වී තිබීම සුවිශේෂී වෙයි.
මෙහි දෙවැනි තරගය දිල්ලි හා පංජාබ් කණ්ඩායම් අතර ඩුබායිහිදී ඊයේ (20දා) පැවැත්විණි. ශ්රීං ලංකාවේ එකම අයි.පී.එල්. නියෝජනය වන ඉසුරු උදාන ක්රීඩා කරන බැංගලෝර් (ආර්.සී.බී.) හා සන්රයිසස් හයිද්රේබාද් තරගය අද (21දා) පැවැත්වේ.