ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අදහස් කර ඇතැයි වාර්තා වේ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් නීති-රීති හා ජනප්‍රිය ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ආකෘතිය අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.
කෙසේ නමුත් තවමත් මෙහි සංවිධාන කටයුතු මූලික මට්ටමේ තිබෙන අතර, පැවැත්වෙන නිශ්චිත කාල වකවානුවක් පිළිබඳව හෝ සඳහනක් නොමැත. ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු නිළියන්ද මෙම තරගාවලියට සිය සහයෝගය ලබාදීමද එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ලැබේ.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව හා එංගලන්තය සමග තුන්කොන් තරගාවලියක් සඳහා ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.
එමෙන්ම එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් විස්සයි20 හා එක්දින තරගාවලියකටද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඒ අනුව බොහෝ දුරට එළඹෙන ඔක්තෝබර් මාසයෙන් පසු මෙම %දෘශ්‍යාබාධිත අයි.පී.එල්. තරගාවලිය^ පැවැත්වීමට වැඩි අවස්ථාවක් ඇත.
ලොව පුරා සිටින දෘශ්‍යාබාධිත දක්ෂ ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට සම්බන්ධ කරගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින ක්‍රීඩකයන්ටද මේ වනවිට ආරාධනා (වාචිකව) තිබේ. එක් කණ්ඩායමකට ඉන්දීය ක්‍රීඩකයන් 07 දෙනෙකු හා විදේශීය ක්‍රීඩකයන් 04 දෙනෙකු ඇතුළත් කිරීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තුව ඇත.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ තරගාවලියෙන් ලැබෙන අනුග්‍රාහකත්වයෙන් ක්‍රීඩකයන්ටද ඉහළ ගෙවීමක් සිදුකිරීමට සංවිධායකයන් තීරණය කර තිබීමයි.
කෙසේ නමුත් කොපමණ කණ්ඩායම් සංඛ්‍යාවක් මෙම තරගාවලියට ක්‍රීඩා කරනවාද, ඉන්දියාවේ නගර කීයක තරග පවත්වනවාද යන්න පිළිබඳව තවමත් නිශ්චිත සඳහනක් නොමැත.