දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.
තුවාලකරුවන් විසි තුන්දෙනෙකු රෝහලට ඇතුළත් කළ අතර ඉන් හත් දෙනකු මිය ගොස් ඇති බවත් හතර දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.
වයස අවුරුදු අටක දැරියක්ද තුවාලකරුවන් අතර සිටින බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම දැරිවිය වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි වන අතර ඇගේ සියාද මියගිය අය අතර සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
මියගිය සෙසු අය ඇඹිලිපිටිය, මාතර වැලිමඩ ප්‍රදේශවල පදිංචි වී සිටි අය බවටද තහවුරු නොකළ වාර්තාවල සඳහන් වේ.
වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය තුවාලකරුවන් කිහිප දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් සහ තරග සහයක නිලධාරීන්ද මිය ගිය සහ තුවාල කරුවන් අතර සිටින බවද පොලිසිය පැවසීය.
දියතලාව යුද හමුදා විද්යාපීථය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා කමිටුව ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.
රටේ වඩාත් ජනප්‍රිය මෝටර් රථ තරගාවලියක් වන බවත් දිවයිනේ නමගිය මෝටර් රථ දාවකයෝ එකසිය පනහක් හා යතුරුපැදියේ දාවකයෝ එකසිය විස්ස ක් පමණ මෙම තරගාවලියට සහභාගී වීමට පැමිණ සිටි බවද සංවිධායකයෝ පැවසූහ.
තරගාවලිය අතරතුර ඇති වූ අනතුරින් පසුව සෙසු සියලු තරග අවලංගු කර දැමූ බවද සංවිධායකයෝ පැවසූහ.
මෙම ධාවන පථයේ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ප්‍රථමයෙන් අනතුරට ලක්වී ඇති අතර එම අනතුර බැලීමට අපරීක්ෂාකාරීව ඉදිරියට පැමිණි පුද්ගලයින් පිරිසක් ඊළඟට පසුපසින් ධාවන තරගයේ යෙදුණු මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
මෙම මෝටර් රථයේ හැපුණු පුද්ගලයින් ඈතට විසිවී යන අයුරු දුටු බව ප්‍රේක්ෂකයෝ පිරිසක් පැවසූහ.
තුවාල ලැබූවන් කඩිනමන් රෝහල් ගත කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ .
ලංකාවේ ජනප්‍රියතම මෝටර් රථ තරග ධාවන පථයක් වන දියතලාව ෆ්රොක්සිල් ධාවන පථයේ පැවතී මෙම තරගය මෙවර වසර හතරකට පසු පැවති බවත් දහස් සංඛ්‍යාත විශාල ප්‍රේක්ෂක පිරිසක් මෙවර සහභාගි වී සිටි බවත් සංවිධායකයෝ පැවසූහ.
දියතලාව පොලීසිය සහ දියතලාව යුධ හමුදා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
කසුන් රණසිංහ/සමන් පාලිත/ප්‍රසාද් රුක්මාල්