ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලෙස ආසියානු දැල්පන්දු සංගමයේ උපසභාපතිනියක වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරී පත්විය. ඇයට පක්ෂව ඡන්ද 21ක් හිමිවූ අතර, ඇයගේ ප්‍රතිවාදිනිය වූ හිටපු රූ රැජිනක් වන ක්ලැරිල් ටෝසර් මහත්මියට හිමිව තිබුණේ ඡන්ද 11ක් පමණි.
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ධුරය අවස්ථා කිහිපයකදීම හොබවා ඇති වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය මෙවර එම තනතුරට පත්ව තිබුණේ 2015 වසරෙන් පසුව වීමද සුවිශේෂීය.
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ (31දා) ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ (විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න-සභාපති, පද්මජිනා සිරිවර්ධන -සාමාජික සහ කේ.ආර්.ඩී.සී. රත්නමුදලි-සාමාජික) අධීක්ෂණය යටතේ පැවැත්විණි.
මෙවර නිලවරණයේදී සභාපති තනතුරට සිව්කොන් සටනක් නිර්මාණය වී තිබුණද, කොළඹ දිස්ත්‍රික් සංගමයෙන් පද්මා බැද්දේවෙල සහ ගම්පහ දිස්ත්‍රික් සංගමයෙන් වජිරා පුෂ්පකුමාරී යන මහත්මීහු සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගත්හ.
වික්ටෝරියා ලක්ෂ්මි පාර්ශ්වය නියෝජනය කරමින් ලේකම් ධුරය සඳහා ඉදිරිපත් වූ වින්දනා දයාරත්න නව ලේකම්වරිය ලෙස පත්වුයේ ඡන්ද 20ක් හිමිකර ගනිමිනි. ඇයගේ ප්‍රතිවාදිනිය වූ බී.ඩී.එස්. සුමිත්‍රා මහත්මියට හිමිඩකර ගැනීමට හැකි වූයේ ඡන්ද 12ක් පමණි.
මේ අතර වික්ටෝරියා පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා ඉදිරිපත් වූ පද්මිණී හොරණගේ මහත්මිය නව භාණ්ඩාගාරික ලෙස පත්වූයේ ඡන්ද 17ක් ලබමිනි. භාණ්ඩාගාරික ධුරය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී තිබුණු අතර, ඇයගේ ප්‍රතිවාදිනිය වූ එම්.කේ.ජේ.එස්. ජයසූරිය මහත්මිය ඡන්ද 15ක් ලබාගැනීමට සමත් විය.
වික්ටෝරියා ලක්ෂ්මි පාර්ශ්වය නියෝජනය කරමින් සිව්වරක් දැල්පන්දු ලේකම් ධුරය හෙබවූ චම්පා ගුණවර්ධන උපලේකම් ධුරයට තරග කිරීමට නියමිතව තිබුණද, ඇය සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමත් සමග ප්‍රතිවාදී පාර්ශ්වය නියෝජනය කළ නිදර්ශනා කුලේන්දිරන් එම ධුරයට නිතරගයෙන් තේරී පත්විය.
වික්ටෝරියා පාර්ශ්වයෙන් උපභාණ්ඩාගාරික තනතුර සඳහා ලයානි රේණුකා කුරුප්පු නාමයෝජනා ඉදිරිපත් කර තිබුණු අතර, ඇයගේ නාමයෝජනාවට එරෙහිව ප්‍රතිවාදී පාර්ශ්වයෙන් කිසිවෙකුත් නාමයෝජනා ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ඇය නිලවරණයට පෙර සිටම එම තනතුරට නිතරගයෙන් පත්ව තිබුණි.
මෙවර නිලවරණය සඳහා මෙතෙක් සභාපති ධුරය දැරූ රංජනී ජයකොඩි, ලේකම් ධුරය දැරූ කුමුදුනී ගෝමස් සහ භාණ්ඩාගාරික ධුරය දැරූ සංජීවනී වනසිංහ යන අයගෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.
මේ අතර මෙවර නිලවරණයට දැල්පන්දු ක්‍රීඩා සමාජ සහ සංගම් 35ක් අතුරින් 32ක් පමණක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණි.