මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලබාගැනීමේ අරමුණෙන් මලාවි දේශයේ තරග සංචාරයක නියැළුණු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට රු. ලක්ෂ 16ක් දුන්නා යැයි ඇමති ෆයිසර් මුස්තාෆා මහතා මාධ්‍ය හමුවේ පැවසූ කතාව මේ වනවිට අසත්‍ය ප්‍රකාශයක් බවට පත්ව තිබේ. ඒ දැල්පන්දු කණ්ඩායම මලාවි යවා ඇත්තේ දෙන්නම් කාසිවලට බැවිනි.
එමෙන්ම මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා තිබුණද අමාත්‍යාංශයෙන් තරගාවලියට අනුමැතිය පමණක් ලබාදී මුදල් ප්‍රතිපාදන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව 'අද'ට වාර්තා විය. පසුව දැල්පන්දු සංගමයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීමත් සමග ඔවුන්ට පෞද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයක් ලබාදීමට අමාත්‍යවරයා උත්සුක වී තිබේ. ඒ අනුව සමස්ත මුදලෙන් කොටසක් එම පෞද්ගලික අනුග්‍රාහකයා විසින් දෙනු ලැබ ඇති අතර, කණ්ඩායම මලාවි බලා ගියේ ණයට ගුවන් ප්‍රවේශපත් ලබාගෙන බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ඉහළ නිලධාරිනියක් 'අද'ට පැවසුවාය.
මෙවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මලාවි දේශයේ ඉතා හොඳින් ක්‍රීඩා කරන බව පසුගිය මස 31 වැනිදා 'අද' පුවත්පතෙන් හෙළිදරව් කිරීමත් සමග ඊට පසුදින මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රු. ලක්ෂ 16ක මුදලක් ඔවුනට ලබාදීමට පියවර ගත් බවයි. එහෙත් තවමත් එම මුදල් දැල්පන්දු සංගමයට ලබාදී නොමැත. අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් දුලාර ගුණතිලක මහතාගෙන් එදිනම (31දා) විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ, කණ්ඩායමට එම මුදල් මෙරටට පැමිණි පසු ලබාදෙන බවයි. මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයා එම මුදල් ලබාදෙන්න යයි නියෝග කර ඇති බවත් ඉදිරියේදී එම මුදල් සංගමයට ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් ඊයේ (05දා) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
කෙසේ වෙතත් පසුගිය මස 31 වැනිදා 'ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මුදල් දීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මලාවි දේශයේදී වැඩ පෙන්වයි' යන සිරස්තලයෙන් 'අද' පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට නින්දෙන් ඇහැරුණු ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් රු. ලක්ෂ 16ක් ලබාදුන්නා යැයි පැවසූවද එය මෙතෙක් දැල්පන්දු සංගමයට ලැබී නොමැති බවත් කණ්ඩායම මෙරටට පැමිණි පසු එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් එම සංගමයේ නිලධාරිනියක් 'අද'ට පැවසුවාය.
මෙරට අනාගත පරපුරට වගකියන වැදගත් අමාත්‍යාංශයක ඇමතිවරයෙක් සහ ජනාධිපති නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මීට වඩා සැලකිලිමත්ව සහ කණ්ඩායමක් මෙරටින් පිටත්වීමට ප්‍රථමව මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වගකියන්නේ නම් එය මෙරට ක්‍රීඩාවේ අනාගතයට සුබදායි වනවා ඇත.