ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා 'අද'ට පැවසීය. මෙම විගණනය ඉදිරි සතිය ඇතුළතදී ආරම්භ කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
පසුගිය කාලය පුරාවටම නිසි අධීක්ෂණයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් විවිධ පාර්ශ්ව වෙත ලබාදී ඇති බව වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැමිණිලි කිහිපයක්ද ඉදිරිපත්ව ඇතැයි හෙළිවේ.
ක්‍රිකට් ආයතනයේ සේවකයන් පෙන්වා දෙන්නේ, හැකි ඉක්මනින් අභ්‍යන්තර විගණනයක් සිදු කළහොත් බඩුත් සමග හොරුද අල්ලාගත හැකි බවයි. ඔවුන් චෝදනා කර සිටිනුයේ, මූල්‍ය අක්රමිකතාවලට සම්බන්ධ ලොක්කන් දැනටමත් ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතුව සිටින බවත්, යළිත් නිලවරණයක් පැමිණීමට පෙර මෙම විගණනය සිදුකර වංචනිකයන් රටට හෙළිකරන ලෙසයි.
අදාළ විගණනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා, &මේ වනවිටත් ක්‍රිකට් ආයතනයේ සිදු වුණු යම් යම් මූල්‍ය අක්රමිකතාවලට පරීක්ෂණ පැවැත්වෙනවා. එහෙත් මට යම් යම් ගනුදෙනු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා. හොඳම දේ විගණනයක් කරන එකයි. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් විගණනයක් කරනවා නම් එය සිදුවිය යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන්. එම විගණනය අපි ඉදිරි සතියේදී ආරම්භ කරනවා*යැයි ප්‍රකාශ කළේය.
මේ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රු. ලක්ෂ 40ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමට නොලැබී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. ඊට ටිකට්පත්වලින් ලැබුණු ආදායමද ඇතුළත් බව හෙළිවේ. මීට පෙර (දකුණු අප්‍රිකානු සංචාරයට පෙර) ක්‍රීඩාංගණවල සවිකර ඇති තරග නැරඹුම් කුටිවල (Corporate Boxes) මිලගණන් අඩුකර තිබුණද, පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී එය ඉහළ අගයකින් වැඩිකර තිබේ. ඒ අනුව එක් තරග නැරඹුම් කුටියකින් රු. ලක්ෂ 04කට ආසන්න මුදලක් අයකර ඇති අතර, ඉන් ලද ආදායම රු. මිලියන 04ක මුදලක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබී නොමැති බවද හෙළිවේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසු අතර, ඔහු පවසා සිටියේ, තමන් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් එම මුදල් ලැබී ඇත්දැයි සොයා බලන බවත්ය. එමෙන්ම එම මුදල් ලැබී නොමැති නම් ඒ පිළිබඳව වහා ක්‍රියාත්මකව ලබාගැනීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.