දකුණු අප්රිකානු සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඩ්වෙයින් ප්රිටෝරියස් අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාවට සමුදීමට තීරණය කර ඇත. තවමත් අන්තර්ජාතික තරග 60 කට පමණක් ක්රීඩා කර ඇති ප්රිටෝරියස්, හදිසියේ මෙම තීරණය ගෙන ඇත්තේ සිය දක්ෂතා උපරිම මට්ටමක සිටින අවධියක වීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කරමින් හෙතෙම පවසන්නේ විස්සයි විස්ස ලීග් ක්රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට තමන් මෙම තීරණය ගත් බවයි.
මෑත කාලීනව දකුණු අප්රිකානු විස්සයි විස්ස කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්රීඩකයෙකු වූ ප්රිටෝරියස්, විස්සයි විස්ස තරග 30 කදී කඩුළු 35 ක් දවා ගෙන ඇත්තේ දකුණු අප්රිකානු පන්දු යවන්නෙකු විස්සයි විස්ස පිටියේදී දැක්වූ හොඳම පන්දු යැවීමේ වාර්තාවද තමන් සතු කර ගනිමිනි. ඒ පාකිස්ථානයට එරෙහිව ලකුණු 17 කට කඩුළු 5 ක් දවා ගනිමිනි.
පිත්තෙන්ද එහිදී දක්ෂතා දැක්වූ ඔහු ලකුණු 261 ක් රැස් කිරීමට සමත්වී ඇත්තේ එක් අර්ධ ශතකයක්ද සහිතව, 164 ක ප්රහාරාත්මක වේගයක්ද සහිතවයි.