දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩක සොන් හුන්ග්-මින් (Son Heung-min) හමුදා සේවයට ගොස් ඇතැයි 'ද සන්' වෙබ් අඩවිය වාර්තා කරයි. එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටොට්න්හැම් හොට්ස්පර් (Tottenham Hotspur) ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කරන සොන් හුන්ග්-මින් දකුණු කොරියාවේ සති 03ක අනිවාර්ය හමුදා සේවයට මෙම මාසයේ දී වාර්තා කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.
එරට පවතින නීතිවලට අනුව සෑම තරුණයෙක්ම වයස 18 සිට 28 කාල සීමාව තුළ වසර දෙකකට ආසන්න කාලයක් අනිවාර්ය හමුදා සේවයේ නිරත විය යුතුය. එහෙත් ඔලිම්පික් තරගවල පදක්කම් දිනූවන් සහ ආසියානු තරගවල රන් පදක්කම්ලාභී ක්‍රීඩකයින් ඉන් නිදහස් කර තිබේ. ඒ ඔවුන්ට අඛණ්ඩව එම ක්‍රීඩා කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබා දී ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව ලබාදීමේ අරමුණ ඇතිවය.
කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන්යුරෝපය පුරා පාපන්දු තරගාවලි සියල්ලක්ම දින නියමයකින් තොරව කල් දැමීම හේතුවෙන් හමුදා පුහුණුව සඳහා සොන් හුන්ග්-මින් මෙම කාල සීමාව තෝරාගෙන ඇත.
එංගලන්තයේ සිට දකුණු කොරියාව බලා පැමිණි සොන් හුන්ග්-මින් එරට නීතිවලට අනුව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් පසුවන අතර මෙම මස 20 වන දින සිට එරට ජේජු (Jeju) දූපතෙහි ස්ථාපිත කර ඇති හමුදා ඛණ්ඩය සමග ඔහු මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතය.