කෝවිඩ් -19 වසංගතයට ගොදුරුව සිටි දකුණු අප්‍රිකානු දැල්පන්දු සභාපතිනිය වන සිසිලියා මොලොක්වාන් පූර්ණ සුවය ලබා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය බී.බී.සී. මාධ්‍යයට පවසා ඇත්තේ කෝවිඩ් -19 වැලඳී තිබුණු කාලය සිය ජීවිතයේ නරකම කාල පරිච්ඡේදය වන බවයි.
“ඇත්තෙන්ම එය දුෂ්කරයි. ඔබ දන්නවා ස්වයං- නිරෝධායනය, ඔබේ කාමරයේ තනිවම වාඩි වී සිටීම සහ ඔබේ තුන් හැවිරිදි දියණිය බදා ගැනීමට නොහැකි වීම. එය කෙනෙකුට ලැබිය හැකි නරකම අත්දැකීමක්. ඔබට සහාය අවශ්‍ය වූ විට මිනිසුන් ඔබ අසල සිටිය යුතුයි. එහෙත් ඔවුන්ට කිට්ටු වුණොත් ඔවුන් අසනීප විය හැකි බවත්, අසනීප වීමෙන් ඔවුන් මිය යා හැකි බවත් පැවසූවා. එය මගේ ජීවිතයේ නරකම කාල පරිච්ඡේදයයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මගේ ස්වාමිපුරුෂයා අහිමි වුවද මම එවැනි දෙයක් අත්විඳ නැහැ. මට තනිවම වාඩි වී සිටීමට පුරුද්දක් නැහැ. මම ස්වභාවයෙන්ම ක්‍රියාශීලී පුද්ගලයෙකු වීමට පුරුදුව සිටි කෙනෙක්. ඒ අත්දැකීම එතරම් හොඳ එකක් නොවෙයි. එය මාව හුඟාක් මානසිකව ඇදවැට්ටුවා. ජීවත්වීමට හෝ මිය යෑමට යන්නේ දැයි නොදන්නා නිසා එය මානසිකව මාව ඇද දැමුවා.” යනුවෙන් මොලොක්වාන් බී.බී.සීයට පැවසූවාය.
පසුගිය වසරේදී 2023 දැල්පන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දකුණු අප්‍රිකාව දිනා ගත්තේය. 2023 වසරේ දැල්පන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වීමෙන් දකුණු අප්‍රිකාව එක්සත් කළ හැකි බව සිසිලියා මොලොක්වාන්ගේ අදහසයි.
මේ වනවිට කෝවිඩ් -19 වසංගතය අප්‍රිකානු කලාපය ආක්‍රමණය කර තිබුණද 2023 ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වීමෙන් රට එක්සත් කිරීමට හැකි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.