ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
මීට පෙර හිටපු පරිපාලනය සමයේදී ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී තනතුර සඳහා අනුයුක්ත කිරීමේදී පවසා සිටියේ ඔහුගේ ධුර කාලය තුළ (තේරීම් කමිටු ප්‍රධානී තනතුරට අයත්) ඔහුව තරග තීරකයෙක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත්, එම කාලය තුළ ඔහු තේරීම් කමිටු ප්‍රධානී තනතුරට අයත් රාජකාරී පමණක් සිදු කරන බවත්ය.
ආසියානු කුසලානය වැනි ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරගාවලියක් පවතින මොහොතකදී තේරීම් කමිටු ප්‍රධානියා කාන්තා ක්‍රිකට් තරග තීරකයෙකු ලෙස කටයුතු කිරීම කොතරම් දුරට සදාචාරාත්මකද යන්න සහ ජාතික කණ්ඩායමට ඔහු තේරීම් කමිටු ප්‍රධානියා වශයෙන් දක්වන දායකත්වය පිළිබඳවද මෙහිදී ගැටලුවක් මතුව තිබේ. ක්‍රිකට්වලට හිතැති පිරිස් පෙන්වා දෙන්නේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ඔහුගෙන් සේවයක් ඉටු නොවන නිසා අලුත් තේරීම් කමිටුවක් පත්කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ අවශ්‍ය වුවහොත් සහ තේරීම් කමිටුවෙන් ඔවුන්ගේ කාර්යභාරය ඉටු නොවන්නේ නම් වෙනත් පිරිසකට එම කාර්යය භාරදෙන බවයි.
තේරීම් කමිටු ප්‍රධානියා ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලියක් පැවැත්වෙන මොහොතක කාන්තා ක්‍රිකට් තරග තීරකයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති අනුව ඔහුව පත්කර ඇති බවයි.
&ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දීලා තියෙනවා කලාපීය මට්ටමෙන් (Rejanal) ඉන්න තරග තීරකයන්ව ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලියට පත් කරන්න කියලා. අපේ එහෙම ඉන්නේ තරග තීරකයන් දෙදෙනායි. එක්කෙනෙක් ග්රැහැම් ලැබ්රෝයි (ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා). අනිත් කෙනා ඔහුගේ සහෝදරයා වන වෙන්ඩල් ලැබ්රෝයි. වෙන්ඩල් ලැබ්රෝයි මේ වන විට විදේශගතව සිටින නිසයි ග්රැහැම් ලැබ්රෝයි මහතාව මීට පත් කර තිබෙන්නේ* යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වැඩිදුරටත් කරුණු දැක්වීය.
කෙසේ වෙතත් තේරීම් කමිටුව වෙනස් කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවද ඔහු සහ ක්‍රිකට් ලොක්කන් මෙරට ක්‍රිකට්වල තිබෙන මෙම ගැටලු නොවිසඳා මුනිවත රැකීමෙන් මෙරට ක්‍රිකට් අනාගතයට එල්ල කරන්නේ බලවත් අතුල් පහරක් බව තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.