2009 මාර්තු මස 03 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 10කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (27දා) කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී පාකිස්තානු කණ්ඩායම සමග තරග වදිති. ඒ දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමිනි.
සම්පූර්ණ තරගාවලියක් සඳහා 2009 වසරේ මහේලගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණය වෙත එමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්විණි. එම ප්‍රහාරයේදී තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මහේල ජයවර්ධන සහ සුරංග ලක්මාල් වැනි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම සුළු තුවාල සිදුවිණි.
එම ප්‍රහාරයෙන් වසර 10කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරන තෙක් කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කිරීමට එඩිතර නොවුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ද මෙම තරග සංචාරය සඳහා සහභාගි වී සිටින්නේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නොමැතිවය. ඒ අතර විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, උපනායක නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙති. ඔවුන් ආරක්ෂක හේතූන් මත මෙම තරගාවලියෙන් ඉවත් විණි. ඔහුට අමතරව ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ද තරගාවලියට එක්ව නොමැත.
ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරග වදින මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු කිහිපයක්ම ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැති නිසා ඔවුන්ට මෙම අවස්ථාව හිමිවුවද, තරගාවලිය සඳහා එක්ව සිටින නවක ක්‍රීඩකයින් කාලයක් තිස්සේ අවස්ථාවක් හිමි වන තුරු බලා සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකි. එහෙයින් කිසිදු චකිතයකින් තොරව ක්‍රීඩා කර දක්ෂතා අතරට පැමිණියහොත් එම තරුණ ක්‍රීඩකයින්ට දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට එතරම් අපහසු නොවනු ඇත. විශේෂයෙන්ම මිනෝද් භානුක, වනිදු හසරංග, ඕෂද ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රමට මෙම තරගාවලිය විශේෂ තරගාවලියක් වනු නිසැකය.
ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නෙකු ඇතුළත්ව නොමැති බැවින් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම ගන්නට නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින්ට සිදුවේ. ඔවුන් නිසි අයුරින් සිය රාජකාරිය ඉටු කළහොත් පාකිස්තානු පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීම එතරම් අපහසුවක් නොමැත. එමෙන්ම පාකිස්තානු එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නා ලක්ෂාන් සඳකැන්ය. ඔහුටද කණ්ඩායම වෙනුවෙන් වැඩි වැඩ කොටසක් කරන්නට තිබේ.
කුමන තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළද එය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් පහසු තරගාවලියක් නම් නොවේ. දශකයකට ආසන්න කාලයක් සිය මව්බිමේදී ප්‍රබල කණ්ඩායමක් සමගින් ජාත්‍යන්තර තරගාවලියක් නොපැවැත්වුණද, පාකිස්තානු කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායමකි. විශේෂයෙන්ම එක්දින තරග බිමේදී ඔවුන් වඩාත් ආක්‍රමණශීලි කණ්ඩායමකි.
සෆ්රාස් අහ්මඩ්ගේ නායකත්වයෙන් තරග වදින පාකිස්තානු කණ්ඩායමේ උපනායකයා මෙන්ම කණ්ඩායමේ ප්‍රධානම පිතිකරුවා වන බාබර් අසාම් යනු ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරන පිතිකරුවෙකි. අසාම් ජාත්‍යන්තර එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි තුන්වැනි ස්ථානයේ පසුවන පිතිකරුවාය. ඉමාම් උල් හක්, ෆක්හම් ශාමන්, හැරිස් සොහෙල් වැනි ආක්‍රමණශීලි පිතිකරුවන් රැසක් සමගින් තරග වදින පාකිස්තානු කණ්ඩායම කලකට පසුව හිමි වූ මෙම අවස්ථාව කිසිදු ලෙසකින් අපතේ යන්නට නම් ඉඩනොදෙනු නිසැකය.
පාකිස්තානු පිතිකරුවන්ට නොදෙවෙනි පන්දු යැවීමේ බළඇණියක් හිමි පාකිස්තානු කණ්ඩායමක් තිබීම විශේෂත්වයකි. මොහොමඩ් අමීර්, වහබ් රියාස්, ශදාබ් ඛාන් සහ ඉමාඩ් වසීම් ප්‍රධාන විශිෂ්ට පන්දු යැවීමේ බළඇණියට ඔවුන්ගේ පිතිකරුවන් ලබාදෙන ඕනෑම ලකුණු සංඛ්‍යාවක් රැක ගැනීමේ හැකියාව තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයකි.
දිනේෂ් මන්ත්රිවිතාන