2011 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ තරග පාවාදීමක් සිදු වූ බවට තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවූ බවත්, එනිසා තරග පාවදීම පිළිබඳ පවත්වනු ලැබූ පරීක්ෂණය පිළිබද තමන් සෑහීමට පත්නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පැවසීය.
2011 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ නිසි සාක්ෂි නොමැති බව පවසමින්, එම පරීක්ෂණය තවදුරටත් ඉදිරියට රැගෙන නොයා අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කළේය.
කෙසේ නමුත් තරග පාවාදීමක් වැනි ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනාත්මක කථාබහක් ඇතිකළ අසත්‍ය ප්‍රකාෂයක් සිදුකිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නවාද යනුවෙන් අද (05දා) පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකළ කරුණු දැක්වීමට පිළිතුරු ලෙස අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේය.
"ලෝක කුසලානය පිළිබඳ මම ප්‍රකාෂයක් කළා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත් වූවා. නමුත් ඒ පවත්වපු පරීක්ෂණය පිළිබද මම සෑහීමට පත්වෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිතුමත් මෙතන ඉන්න නිසා.
ඒ පරීක්ෂණයේදී එවකට ලෝක කුසලානය පවත්වන වෙලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, ලේකම්ගෙන් කටඋත්තර අරගෙන නැහැ. ඒ ලෝක කුසලානයේ කලමණාකරුගෙන් කටඋත්තර අරගෙන නැහැ. මම පැහැදිලිවම කිව්වා මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා. නමුත් පරීක්ෂණය නොමග යවන්න ක්‍රීඩකයෝ ගෙනාව මේකට. මෙතන ප්‍රශ්ණය තිබෙන්නේ ක්‍රීඩකයෝ එක්ක නෙමෙයි.
ලෝක කුසලානය ක්‍රීඩා කරපු වෙලාවේ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කළමණාකරු සුරාජ් දන්දෙණිය, ලේකම් නිශාන්ත රණතුංග, සභාපති ඩී.එස්. ද සිල්වා මේ අයගෙන් කටඋත්තර ගන්න කියලා මම සී.අයි.ඩී. එකට කිව්වා. නමුත් මේ කිසි කෙනෙක්ගෙන් කටඋත්තර ගන්නේ නැතිව, ක්‍රීඩයන්ගෙන් කටඋත්තර අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා මේකේ ගන්න කිසි දෙයක් නැහැ කියලා. ඒ නිසා මෙම පරීක්ෂණය ගැන මම සෑහීමට පත්වෙන් නැහැ" යනුවෙන් අලුත්ගමගේ මහතා පැවසීය.
මෙහිදී මුජිබර් රහුමාන් මහතා නැවතවරක් අලුත්ගමගේ මහතාගෙන් විමසා සිටියේ වත්මන් රජය යටතේ සී.අයි.ඩී. ආයතනය තිබෙනවා නම්, ඔබ පරීක්ෂණය ගැන සැහීමට පත්වෙන්නේද නැත්නම් නැවත පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන්නේ, යනුවෙන්.
ඊට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ, තරග පාවාදීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේ හොඳ ඡේතනාවෙන් බවයි. නමුත් අවසානයේදී තමන්ට ඡන්දය නොදෙන්න කියා වෙනම උද්ඝෝෂණයක් ගිය බවත්, ඒ නිසාම දිස්ත්‍රික්කයේ දෙවැනියා බවට පත්වීමට සිදු වූ බවත් ඔහු පැවසීය.