ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලිග ක්‍රිකට් තරගාවලියේදි නැවත වරක් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට උපුල් තරංග සමත්විය. ඒ ගාලු කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදීය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 8ට ලකුණු 131ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 132ක පහසු ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු තුනක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කළේය.
මේහිදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 41කදි හයේ පහර පහක් හා හතරේ පහර 8ක් සමගින් ලකුණු 81ක් රැස්කිරීමට සමත්විය. නායක චන්දිමාල් පන්දු 38කදී නොදැවී ලකුණු 38ක් රැස්කළේය.
මේ අතර දඹුල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ නායක දසුන් ශානක හා දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 දී ලකුණු 217ක් රැස්කළේ කඩුලු 4ක් වැයකරමිනි. ධනුෂ්ක ගුණතිලක පනදු 54කදී ලකුණු 87ක්ද, නායක ඉසුරු උදාන පන්දු 9කදී ලකුණු 27ක්ද රැස්කිරීමට සමත්විය.
මහනුවර පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල වන විට ලසිත් මාලිංග සිය පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 25ක් පමණි. කෙසේ වෙතත් ඔහුට කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.
ලකුණු 218ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7කට ලකුණු 211ක් රැස්කළේය.
නායක දසුන් ශානක පන්දු 46කදී ලකුණු 81ක් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 24කදී ලකුණු 43ක් රැස්කළේය.
මෙම තරග දඹුල්ල ක්‍රීඩාංගණයේදි පැවැත්විණ.