ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ගෞරවාන්විතම තරගාවලිය වන 'ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 97 වැනි අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ. තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (18දා) අවසන් වේ. තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඩු වුවත් තරගකාරී තරගාවලියක්
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන අවසන් තෝරා ගැනීමේ තරගාවලිය ලෙස මෙවර තරගාවලිය පැවැත්වේ. කෙසේ නමුත් ඉකුත් වර්ෂයන්ට සාපේක්ෂව මෙවර තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩුවක් පවතියි. මෙවර තරගකරුවන් අතරින් 486ක් ක්‍රීඩකයන් වන අතර, 148 දෙනෙක් ක්‍රීඩිකාවෝ වෙති.
මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩු වීම දක්නට ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සාග් සංවිධායකයින් මෙවර ක්‍රීඩා උළෙලට %එක් ඉසව්වක් සඳහා එක් රටකින් සහභාගි විය හැක්කේ එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පමණක් වීම^ යන නව නීතිය හඳුන්වා දීම ප්‍රධාන වශයෙන් බලපෑ නිසාය. කෙසේ නමුත් මෙම නීතිය නිසා මෙවර ජාතික ශූරතාවේ කේවල ඉසව්වන්ගේ තරගකාරිත්වය ඉහළ යනු ඇති බව සංවිධායකයන් පවසයි.
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන වැඩි අවධානයක්
පාසල් මට්ටමෙන් මෙවර තරගාවලිය සඳහා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත අතර, විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එහි වෙයි. ඒ අතරින් ශ්‍රී ලංකා දිගුදුර ධාවන ශූරී දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන හිරුණි විජයරත්න කැපී පෙනෙයි.
දේශීය දක්ෂයින් ලෙස මීටර් 2000 බාධක දිවීම ඉසව්වේ යොවුන් ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනිය මෙන්ම ආසියානු ශූරිය වන පාරමි වසන්ති මාරිස්ටෙලා, දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ එෂාන් (මී. 100), ආසියානු කනිෂ්ඨ ශූර අරුණ දර්ශන (මී. 400), රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), ආසියානු පදක්කම්ලාභී විදූෂා ලක්ෂානි (තුම්පිම්ම), දකුණු ආසියානු පදක්කම්ලාභී දිල්ෂි කුමාරසිංහ (මී. 800) වැනි ජාත්‍යන්තර මට්ටමේ ජයකෙහෙළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වැදීමට නියමිතව ඇත.
කෙසේ නමුත් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම්හි නිරත වන උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර මෙන්ම උසස් පෙළ විභාගය හේතුවෙන් ආසියානු කනිෂ්ඨ සහාය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක්, මීටර 400 ශූර කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් මෙවර තරග සඳහා ඉදිරිපත් නොවෙති.
තරගාවලියේ බරපැන ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන්
මෙවර තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙකු ඉදිරිපත් නොවූ අතර, ඒ හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය අනුග්‍රාහය දැක්වීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය ඉදිරිපත් විය. ඔවුන් ඇ.ඩො. 5000ක (ආසන්න වශයෙන් ශ්‍රී.ල.රු. ලක්ෂ 8.75) මුදලක් පිරිනමා ඇත. මීට අමතරව තරග පැවැත්වෙන සුගතදාස ක්‍රීඩාංගණයද නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇත.
පසුගිය තරගාවලියේ දක්ෂතා
පසුගිය (96 වැනි) ජාතික ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 04ක් හා තරග වාර්තා 11ක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට කේ.ජී.යූ.පී. ජයවර්ධන (කවපෙත්ත විසි කිරීම/ මී. 56.40), ආර්.ඒ.කේ. කරුණාතිලක (දස ප්‍රයාම/ ලකුණු 7356), යූ.කේ. නිලානි රත්නායක (මීටර 3000 බාධක දිවීම / වි. 9:46.76) හා ඩබ්.වී.එල්. සුගන්දි (සත් ප්‍රයාම ලකුණු 4906) සමත් වූහ.
මීට අමතරව තරග වාර්තා පිහිටුවීමට හිමාෂ ඒෂාන් (මී. 100/ තත්. 10.41(+0.8)), ප්‍රසාද් විමලසිරි (දුර පැනීම/ මී. 8.14(+1.8)), සමිත ජයවර්ධන (යගුලිය/ මී. 16.23), ඩී.එස්. රණසිංහ (හෙල්ල විසිකිරීම/ මී. 78.79), නිමාලි ලියනාරච්චි (මී. 800/ වි. 2:04.3), නිලානි රත්නායක (මී. 1500/ වි. 4:17.52) හා විදූෂා ලක්ෂානි (තුන් පිම්ම/ මී. 13.60(-0.5)) ක්‍රීඩිකාවෝ සමත් වූහ.