ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ශූරතා චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් සමත් විය. ඔහු මෙම ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. මෙහි කාන්තා ශූරතාව කොළඹ ග්‍රැන්ඩ් පික්ස් චෙස් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ දිනාගත් අතර, ඇය ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙයයි.
කොළඹ කොබ්බෑකඩුව කෘෂිකර්ම පුහුණු පර්යේෂණාගාර ශ්‍රවණාගාරයේදී පැවැති මෙම තරගාවලිය මෙරට චෙස් ශ්‍රේණිගත කිරීම් හා දක්ෂතා අනුව ඉදිරියෙන් සිටින 14 දෙනා අතර පැවැත්විණි.
ඒ අනුව 2021 වසරේ ජාතික චෙස් ශුරතාව හිමිකර ගත් 16 හැවිරිදි කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් මෙවරද ජාතික ශූරතාවට හිමිකම් කියුවේය. සුසාල්, 2020 වසරේ ජාතික චෙස් ශුරයා වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු ලියනගේ සහ මීට පෙර ජාතික චෙස් ශූරයන් වූ නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් හා චන්දන විජේකෝන් පරාජය කිරීමට සමත් විය.
මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පික්ස් චෙස් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ මෙම වසරේද ජාතික චෙස් ශුරතාව සිය නම ඉදිරියේ ලියා ගැනීමට සමත් වූවාය. තරගාවලිය ආරම්භයේදී මන්දගාමී සටනක නියැළී සිටි සචිනි, සිය අත්දැකීම් හා පලපුරුද්ද ප්‍රයෝජනයට ගනිමින්, අවසාන භාගයේදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දිහන්සා ගමගේ පරාජය කළාය.
සචිනි මීට පෙර 2009, 2011 ,2012 හා 2013 වර්ෂයන්හි ජාතික ශූරිය වූවාය.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත