ජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ගැසට්පත්‍ර මේ වන විට සකසමින් පවතින බවත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, සුගතදාස හෝටල් පරිශ්‍රයේ පෙරේදා (15දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී තේරීම් කමිටු පත්කිරීම, පෞද්ගලික නඩු කටයුතු සඳහා ජාතික සංගම්වල මුදල් වියදම් නොකිරීම සහ ජාතික ක්‍රීඩා සංගම්වල වාර්තා අනිවාර්යයෙන් කමිටු සාමාජිකයන්ට ලබාදීම ඇතුළු තවත් නව රෙගුලාසි කිහිපයක් පැනවීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
&මම ක්‍රීඩා පනතට අදාළ නියෝග සහ රෙගුලාසි පනවන්නේ සංගම්වල ප්‍රධානීන්ට තනතුරු රැකගන්න නෙමෙයි. සංගම්වල තනතුරු දරන්නන් අවුරුදු 10ක් ඒ තනතුරු දරලා, තවත් අවුරුදු 20ක් ඒ තනතුරුවලම ඉන්න ඕන කියනවා නම් මට ඒ දේ කරන්න බැහැ. සීමිත පිරිසක් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවනවා කියලා අධිකරණයට යනවා නම්, ඔවුන්ට ඒ සඳහා අධිකරණයට යාමේ අයිතියට මම ගරු කරනවා. එහෙත් මම සීමිත පිරිසකගේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් නොව මෙරට මිලියන 22ක ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරනවා* යනුවෙන් පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා පනත සහ නව රෙගුලාසි අනුව කැඳවන්න - ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් නිලවරණ කමිටුවට ලිඛිතව දන්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 1973 අංක 25 දරන ක්‍රීඩා පනත, ඊට එක් කළ රෙගුලාසි සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව කැඳවන්න යැයි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රිකට් නිලවරණ කමිටුවට ලිඛිතව දැන්වීමක් කර තිබේ.
මෙම ලිඛිත දැන්වීම ඊයේ (16දා) සිදුකළ බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (15දා) සුගතදාස හෝටල් පරිශ්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුව අතරතුරදී, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේෂන් මහතාට වහාම අදාළ ලිඛිත දැන්වීම සිදුකරන ලෙස උපදෙස් ලබා දුන්නේය.
අවසන් වරට පැවැති 2021 නිලවරණය 1973 අංක 25 දරන ක්‍රීඩා පනත, ඊට අදාළ නව රෙගුලාසි සහ යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පාදක කර ගනිමින් සිදුකර තිබුණද මෙවර එම ක්‍රමවේදය වෙනස් කරමින්, නිලවරණය කැඳවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවෙන් පමණක් සිදුකිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ.