ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ක්‍රීඩා අමාත්‍ය ධුරය භාරදීමට විමසීමක් කළද, තමන් එය ප්‍රතික්ෂේප කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවද කොළඹදී පෙරේදා (16දා) පැවැති මාධ්‍යහමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,
"මටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා.
හැබැයි මම දේශපාලනේ සිටියදී, ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපතිවෙලත් හිටියා. මට ක්‍රිකට්වලට ඕනෑම කැපවීමක් කරන්න පුළුවන්. මම අද වුණත් ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා. අගමැතිතුමා දැනුවත් කරලා තියෙනවා. අලුත් ක්‍රීඩා ඇමතිවරයා දැනුවත් කරලා තියෙනවා. හැමෝම මම දැනුවත්කළාමට කාලය හදාගන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවට මගේ සහාය අවශ්‍ය නම් කියලා. ඒ වගේම මම කිව්වා මම මේකට සහභාගි වෙනවා නම්, මගෙත් එක්ක ප්‍රවීණ ක්‍රීඩකයෝ හා හොඳ පරිපාලකයො ඉන්නවා කියලත්.
නමුත් ඒකට තාමත් අද වෙනතෙක් ධනාත්මක තත්ත්වයක් ඉදිරිපත් කරලා නෑ. ඉතින් අපට ආණ්ඩුවක් අරගෙන යන්න තියෙනවා. මමත් ඒකෙ ඇමතිවරයෙක්. ඒ නිසා මම වැඩිය ඒවා විවේචනය කරනවාට වඩා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමා මගෙන් ක්‍රීඩා ඇමතිකම ඕනද කියලා ඇහුවාම මම එපා කිව්වා කියන කාරණෙත් මම කියන්න ඕන" යැයි පැවසීය.