ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා - වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසර 08කට පසුව ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු ගෝලය එය වීමයි.
කෙසේ නමුත් ඊටත් වඩා විශේෂත්වය වන්නේ එම ගෝලය වාර්තාකළ ඉදිරිපෙළ ක්‍රීඩකයාය. ටිම් වීයා නම් වූ එම ක්‍රීඩකයා එසේ මෙසේ පුද්ගලයෙකු නොවන අතර, ඔහු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු වෙයි. ඇමරිකාව නියෝජනය කරන ටිම් වියාගේ පියා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ ලයිබීරියානු ජනාධිපති ජෝජ් වීයාය.
සිය පාපන්දු ආභාෂය පුතුන්ටද ලබාදුන් ජෝජ් වීයා, ලයිබීරියාවෙන් බිහිවූ දක්ෂතම පාපන්දු තරුවක් වේ. වසර 16ක් සිය රට නියෝජනය කළ ඔහු, අප්‍රිකාවෙන් බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයකු ලෙසින්ද ඇතමුන් හඳුන්වයි. පාපන්දු දිවියෙන් අනතුරුව 2005 වර්ෂයේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජෝජ් වීයා 2017 වර්ෂයේදී ලයිබීරියාවේ 25වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය.
ජෝජ් වීයාගේ අඩිපාරේ ගිය දරුවන්ද දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බවට පත්වූ අතර, ටිම් වීයා හා කනිෂ්ඨ ජෝජ් වීයා ඉන් උපරිම තලයට පත්වූ පාපන්දු තරු ද්විත්වයකි. කනිෂ්ඨ ජෝජ් වීයා ඇමෙරිකානු 20න් පහළ සංචිතය නියොජනය කරද්දී, ඔහුගේ බාල සොහොයුරා වූ ටිම් වීයා ජ්‍යෙෂ්ඨ සංචිතය නියෝජනය කිරීම තරම් වාසනාවන්ත විය.
ජෝජ් වීයා
ටිම් වීයා