ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනට ඊයේ (20දා) තරග අවසන් වනවිට පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටි චීනය පදක්කම් 35ක් හිමිකරගෙන සිටියේය. මෙහි දෙවැනි ස්ථානය සමස්ත පදක්කම්30දිනූ ජපානයට හා තෙවැනි ස්ථානය පදක්කම් 23 දිනූ සත්කාරක ඉන්දුනීසියාවට හිමිව තිබුණි.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ රටවල් 46ක් අතරින් මේ වනවිට අවම ලෝකඩ පදක්කමක් හෝ දිනාගත් රටවල් 19ක් පදක්කම් ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. කෙසේ නමුත් තවමත් එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ශ්‍රී ලංකාව ඊයේ සහභාගි වූ තරගවල ප්‍රතිඵල කිහිපයක් පහතින් දැක්වෙයි.
බීච් වොලිබෝල්
බීච් වොලිබෝල් (වෙරළ වොලිබෝල්) මූලික වටයේ දෙවැනි තරගයෙන් දකුණු කොරියාවට එරෙහිව තරග 2-0ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය සමත් වූහ. දකුණු කොරියානු යුගලය පහසුවෙන් පරාජය කර ශ්‍රී ලංකාව තරග වට 21/15, 21/10ක් ලෙස එම තරගය ජයගත්හ.
මෙම ඉසව්වේ ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයෙන් තරගවදින අතර, පෙරේදා (19දා) සහභාගි වූ එම වටයේ පළමු තරගයෙන් කසකස්තානය හමුවේ තරග වට 2-0ක පරාජයක් ලැබීය. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය කටාර් රාජ්‍යය සමගින් එළඹෙන 23 වැනිදා පැවැත්වේ.
හොකී
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමට ඊයේ (20දා) සහභාගි වූ මූලික වටයේ තරගයෙන් ජපානය හමුවේ ගෝල 11 – 00ක් ලෙස දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. ශ්‍රී ලංකාව හෙට (22දා) දකුණු කොරියාව සමගින් තරග වැදීමට නියමිතය.
කබඩි
ශ්‍රී ලංකා කබඩි කාන්තා කණ්ඩායම ඊයේ (20) සහභාගි වූ මූලික වටයේ තරගයකින් සත්කාරක ඉන්දුනීසියානු කණ්ඩායම ලකුණු 34 – 17ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළේය. 'ඒ' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මූලික වටයේ සහභාගී වූ දෙවැනි තරගයෙන් ද ජපානයට එරෙහිව ලකුණු 22 – 17ක ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ සවස්වරුවේ මුහුණදුන් තරගයකින් තායිලන්තයට එරෙහිව ලකුණු 46 – 29ක් ලෙස ජයගත්තේය. ඔවුන් අද (21දා) පස්වරුවේ බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතය. මූලික වටයේ %ඒ^ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව මුහුණු දුන් පළමු තරගයෙන් ප්‍රබල ඉන්දියාව හමුවේ ලකුණු 44 -28 පරාජයක් ලැබීය.
පිහිනුම්
පිරිමි මීටර 50 පසුපස ආර ඉසව්වේ මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අකලංක පීරිස්ට හිමිවූයේ 04 වැනි ස්ථානයයි. තෙවැනි මූලික වටයට සහභාගි වූ අකලංක තරගය අවසන් කිරීම සඳහා තත්. 26.57ක කාලයක් වාර්තා කළේය.
තයිකොන්ඩෝ
තයිකොන්ඩෝ කි.ග්රෑ. 58 බර පන්තියේ අවසන් 32ගේ වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තිසර ධර්මප්‍රියට චීන ක්‍රීඩකයෙකු හමුවේ ලකුණු 40 – 11ක් ලෙස පරාජය වීමට සිදුවිය.
වොලිබෝල්
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඊයේ (20දා) සහභාගි වූ මූලික වටයේ පළමු තරගයෙන් තායිලන්තය හමුවේ තරග වට 3-1කින් පරාජය විය. %ඊ^ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව පළමු තරගය 25/13ක් ලෙස තායිලන්තය පරාජය කළද, සෙසු තරග වට 25/21, 25/23, 27/25ක් ලෙස පරාජය විය.
බර ඉසලීම
බර ඉසලීම කාන්තා කි.ග්රෑ. 48 බර පන්තියේ තරග වැදුණු දිනූෂා ගෝමස්ට හිමිවූ අවස්ථා තුනම අසාර්ථක වූ හෙයින් තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙම ඉසව්වේ රන් පදක්කම් උතුරු කොරියානු ක්‍රීඩිකාවකට හිමිවිය. දිනූෂා ඉකුත් අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.
ටෙනිස්
ටෙනිස් කේවල කාන්තා ඉසව්වේ අවසන් 32ගේ වටයේ ඊයේ (20දා) පැවති තරගයේදී චීන ක්‍රීඩිකාවක හමුවේ තරග වට 2-0කින් පරාජය වීමට අනිකා සෙනෙවිරත්නට සිදුවිය. මෙහි ලකුණු තත්ත්වය දැක්වූයේ 6/1, 6/2ක් ලෙසය. අනිකා 64 දෙනාගේ වටයේදී මොන්ගෝලියානු ක්‍රීඩිකාවක තරග 2-0කින් පරාජය කිරීමට සමත් විය.
කේවල පිරිමි ඉසව්වේ අවසන් 32ගේ වටයට සුදුසුකම් ලබාසිටි ෂාමල් දිසානායක ඊයේ (20දා) සහභාගි වූ තරගයකින් ජපාන ක්‍රීඩකයෙකු හමුවේ තරග වට 2-0කින් පරාජය විය. මෙහි ලකුණු තත්ත්වය දැක්වූණේ 6/3, 6/1ක් ලෙසය. ෂාමල් 64 දෙනාගේ වටයේදී මාලදිවයින් ක්‍රීඩකයෙකු තරග වට 2-0කින් පරාජය කළ අතර, එම වටයේම පැවති තවත් තරගයකින් ලෙබනන් ක්‍රීඩකයෙකු හමුවේ තරග වට 2-0කින් පරාජය විය.
ඊයේ පැවති යුගල කාන්තා තරගයේදී දකුණු කොරියානු ක්‍රීඩිකා යුගලය හමුවේ තරග 2-0කින් පරාජය වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අනිකා සෙනෙවිරත්න හා ඒන්ජල් කුරේරාට සිදුවිය. මෙහි ලකුණු තත්ත්වය දැක්වුණේ 6/1 හා 6/0ක් වශයෙනි. එමෙන්ම ඊයේ පැවති පිරිමි යුගල තරගයට සහභාගි වූ යසිත රංග හා ශාමල් දිසානායකට, කසකස්තාන ක්‍රීඩක යුගලය හමුවේ තරග වට 2-0කින් පරාජය වීමට සිදුවිය. මෙහි ලකුණු තත්ත්වය දැක්වුණේ 6/4 හා 6/2ක් වශයෙනි.
මීට අමතරව පසුගියදා (19දා) මිශ්‍ර යුගල තරගයට සහාගාගි වූ ශ්‍රී ලංකා යුගලයට ඕමානය හමුවේ තරග වට 2-0කින් පරාජය වීමට සිදුවිය. අනිකා සෙනෙවිරත්න හා යසිත රංග සහභාගි වූ එම තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 6/4, 6/3ක් ලෙසය.