ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදයක කොටසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.
එහි දිස් වූයේ චාමික කරුණාරත්න, දසුන් ශානක ලඟට ගොස් එක් පන්දුවාරයක් යොමුකිරීමට ඉල්ලීමක් සිදුකළ ආකාරයක්ය. එහිදී ඇත්තටම සිදු වූයේ කුමක්ද?.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඊයේ (07දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධායන් දසුන් ශානකගෙන් විමසා සිටියේය. එතැනදී ඇති වූ සංවාදය කුමක්දැයි දසුන් පැහැදිලි කළේය.
"සාමාන්‍යයෙන් තරගයක් අතරතුරේදී ඒ,ඒ තැනදී අවශ්‍ය විදිහට පන්දු යවන්නෝ යොදාගන්න සිදුවෙනවා. ඒ නිසා තරගය අතරතුරේදී පන්දු යවන්නෝ යොමුකරන පන්දුවාර සංඛ්‍යාව එක් එක් අවස්ථාවට යොදාගන්නා ආකාරය සාමාන්‍යයෙන් හදාගෙන ඉන්නේ.
ඒ අනුව යොමුකරන පන්දුවාර ටික හදපුවාම, චාමිකට එක් පන්දුවාරයි යොමුකරන්න වුණේ. අපි කථා වුණා දුෂ්මන්ත චමීරට පන්දුවාර දෙකක් දෙන්න. ඒ අනුව අවසන් පන්දුවාර කිහිපයේදී අපි කිව්වා චාමික කරුණාරත්නට එක් පන්දුවාරයි යොමුකරන්න වෙන්නේ කියාලා. ඒ කියන දර්ශණය තමයි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්නේ".
"කෙසේ නමුත් චාමික ගැන කියනවානම්, ඔහු ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. එය අද ලෝකයම දන්නවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වටිනා ක්‍රීඩකයෙක්" දසුන් පැවසීය.