ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ශතක ඉනිම හේතුවෙන් සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කර කඩුලු 03ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) පැවැත්විණි.
ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 07ක් දැවී තරගයේ 49 (49.5) වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී කඩඉම පසුකර යාමට සමත් වූහ.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 133කට මුහුණදෙමින් ලකුණු 115ක් රැස්කිරීමට සමත් විය. ඇගේ ඉනිමට හතරේ පහර 13ක් හා හයේ පහර 04ක් අන්තර්ගත විය. මෙය චමරිගේ සිවුවැනි එක්දින ශතකය වන අතර, ඉන්දියාව එරෙහිව ලබාගත් පළමු ශතකද විය. චමරි සහාය වූ හසිනි පෙරේරා (45) පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් පැවැත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ මිතාලි රාජ් නොදැවී ලකුනු 125ක් රැස්කළාය. පන්දු 143කදී ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 14ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. මෙය මිතාලිගේ 07 වැනි එක්දින ශතකද විය.
කෙසේ නමුත් තරග තුනකින් යුත් මෙම තරගාවලියේ තරග 2-1ක් ලෙස ජයගත් ඉන්දීය කණ්ඩායමට ශූරතාව හිමිවිය. මෙහි පළමු තරගය කඩුලු 09කින් පහසුවෙන් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, දෙවැනි තරගයෙන් ජයග්‍රහණය පෙනෙන මානයේදී ලකුණු 07ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව ලැබූ දෙවැනි එක්දින තරග ජය මෙය වන අතර, ශ්‍රී ලංකාවේදී ඉන්දියාවට එරෙහිව ලැබූ පළමු එක්දින ජය මෙය වෙයි.
2000 වසරේ සිට දෙරට අතර මේ දක්වා එක්දින තරග 29ක් පවත්වා ඇති අතර, ඉන් තරග 26ක්ම ඉන්දියාව ජයගෙන ඇත. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් විය.
දෙරට අතර තරග 05කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය අනිද්දා (19දා) කටුනායකදී ආරම්භ වේ.
ඉන්දීය කාන්තා කණ්ඩායම 253/5 (පන්දුවාර 50)
මිතාලි රාජ් නොදැවී 125 (143, 4x14, 6x1), ස්මිර්ති මන්දනා 51 (62, 4x6), දීප්ති ෂර්මා 38 (44, 4x4), හර්මාන්ප්රීට් කාවුර් 17 (41, 4x1), කවීෂා දිල්හාරි 1/37 (10), නිලක්ෂි ද සිල්වා 1/36 (9)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 257/7 (පන්දුවාර 49.5)
චමරි අතපත්තු 115 (133, 4x13, 6x4), හසිනි පෙරේරා 45 (70, 4x4, 6x2), අනුෂ්කා සංජීවනී 22 (31, 4x2), නිලක්ෂි ද සිල්වා 15 (9, 4x1, 6x1), ජූලන් ගොස්වාමි 2/39 (10), මන්සි ජෝෂි 2/43 (8)
විශ්ව මුදියන්සේ