ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වැනි සංවත්සරයට සමගාමීව 24වැනි වරටත් සංවිධානය කරනු ලබන %ගුවන් හමුදා පාපැදි සවාරිය^ අද (02දා) පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, අද දිනයේ එහි ගමන් මාර්ගය වනුයේ කොළඹ, පෑලියගොඩ, වත්තල, ජාඇල, ගම්පහ, මිරිස්වත්ත, නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල හරහා මහනුවරයි.
යළිත් හෙට (03දා) දිනයේදී පෙරවරු 8.30ට මහනුවර පල්ලේකැලේ නගරයෙන් ආරම්භ වන මෙම තරගාවලිය තෙල්දෙනිය, හුන්නස්ගිරිය, මහියංගනය, ගිරාදුරුකෝට්ටේ, සිරිපුර, දිඹුලාගල, මනම්පිටිය හරහා පොළොන්නරුවෙන් දෙවැනි දිනය නිමා කිරීමට නියමිතය.
තරගාවලියේ තෙවැනි දිනය වන අනිද්දා (04දා) කඳුරුවෙල නගරයෙන් ආරම්භ වන මෙම තරගාවලිය ගිරිතලේ, සීගිරි මංසන්ධිය, ඉනාමලුව, කැකිරාව, මරදන්කඩවල, ගල්කුලම හරහා අනුරාධපුරයෙන් අවසන් කිරීමට නියමිතය.
පිරිමි හා කාන්තා දෙයංශයෙන්ම පැවැත්වෙන මෙම සවාරියේ පිරිමි තරගය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, ඒ අනුව පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා (කි.මී. 117) පැවැත්වේ. දෙවැනි අදියර මහනුවර සිට පොළොන්නරුව දක්වාද (කි.මී. 147), තෙවැනි අදියර පොළොන්නරුවේ සිට අනුරාධපුරය දක්වාද (කි.මී. 132) පැවැත්වේ. සවාරියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මී. 396කි.
එසේම එක්දින තරගයක් ලෙස පැවැත්වෙන කාන්තා සවාරිය අනිද්දා (04දා) පැවැත්වෙන අතර, කි.මී. 85ක දුරකින් යුත් මෙය හබරණ සිට අනුරාධපුරය දක්වා පැවැත්විමට නියමිතය.
ත්‍යාග ප්රදානෝත්සවය මාර්තු 04වැනිදා සවස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.