ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක් කළ නව නියෝග සහ රෙගුලාසි අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා (27දා) පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සැරසෙන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
අභියාචනාධිකරණය තීරණය කර තිබුණේ මෙම පෙත්සම් අසා නිමවනතුරු තාවකාලිකව අදාළ නව රෙගුලාසි සහ නියෝග අත්හිටුවන ලෙසයි. මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 14වැනිදා අංක 2310/26, 2310/27 සහ 2310/28 යන ගැසට්පත්රවලින් ප්‍රකාශයට පත් කර ඇති නව රෙගුලාසි සහ නියෝගයි. මෙම පෙත්සම යළිත් සලකා බැලීම ජුනි මස 22වැනිදාට කල් දමා ඇති අතර, ඊට පෙර පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් අප්‍රේල් මස 27වැනිදා හෝ ඊට පෙර ගොනු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියම කළේය.
කෙසේ වෙතත් තමන් නිකුත් කළ නව රෙගුලාසි සහ නියෝගවලින් පාපන්දු නිලවරණය පැවැත්වූ බවත්, ක්‍රිකට් නිලවරණයටද එම රෙගුලාසි සහ නියෝගවල සහය ලබාගැනීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම වාරණ නියෝගය ඉවත් කර ගැනීමට සැරසෙන බව වාර්තා වේ. මෙම පෙත්සම ජුනි මස 22වැනිදා කැඳවන අතර, ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවත් වී අවසන් හෙයින්, ඊට පෙර රෙගුලාසි සහ නියෝගවලට අදාළ වාරණය ඉවත් කරගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ඇතැයිද, එය හැකි ඉක්මනින් සිදුකිරීමට නියමිත බවටද තොරතුරු අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩා නීති විශාරදයෙකු ලෙස සැලකෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ මෙම තීන්දුව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවත්, මෙතෙක් කිසිවෙකුත් කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙකුගේ රෙගුලාසි හෝ නියෝගවලට නිකුත් කරන ගැසට්පත්‍ර සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා නොගත් බවත්ය. මේ අනුව අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමේ බලය ඇති මුත්, ඕනෑම ක්‍රීඩා සමාජයකට හෝ සංගමයකට එම රෙගුලාසි අභියෝගයට ලක් කිරීමේ පූර්වාදර්ශයක් මෙමගින් ඇතිවන බවත් හෙතෙම අවධාරණය කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍යවරයාට මෙම තත්ත්වය උදාවූ බව කීර්තිනන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේය.