ගාලු ක්‍රීඩාංගණය වසරේ දින 365න් 350ක්ම වසා ඇති බවත් ක්‍රීඩාංගණය දින 350ක් වසා දමනවාද නැත්නම් ළමුන් 80,000ක් ගැන සිතනවාද යන්න ගැන තීරණය කළ යුතු යැයි අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පැවසීය.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (30දා) පැවති සමෘද්ධි නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"ගාල්ල නගරයේ දරුවන් 80,000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ අතර ඔබේ දරුවනුත් ඇති. අපි මේ දරුවන් ගැන හිතන්න ඕනෑ. මේ ක්‍රීඩාංගණය අවුරුද්දේ 365 දවසෙන් දවස් 350ක් විතර වහලා දාලා තියෙන්නේ. අපිට මේ ගැන ගැටලුවක් තියෙනවා. ගාල්ල කොටුවේ මධ්‍යම පන්තියේ පවුල් 30කට පමණ ආණ්ඩුවෙන් නඩු දාලා තියෙනවා අනවසර ඉදිකිරීම් කළා කියලා. නමුත් රජය ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් කරලා දැන් ඒක භාවිත කරනවා.
මේ නීතිය වැරදියි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ. මම ලංකාවේ හිටියේ නැති වෙලාවේ ප්‍රචාරයක් ගෙනිච්චා ක්‍රීඩාංගණය ඉවත් කරනවා කියලා. ක්‍රීඩාංගණය විකුණනන්න හදනවා කිව්වා. මේකේ හෝටල් ගහනවා කිව්වා. නමුත් අපි කතා කළේ ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ගැන විතරයි. කාටවත් ක්‍රීඩාංගණය ඉවත් කරන්න බැහැ. ඒක විකුණන්නත් බැහැ.
හෝටල් ගහන්නත් බැහැ. අපේ රටේ ලෝක උරුම තියෙන්නේ අටයි. අපි ගාල්ල ලෝක උරුම නගරයක් විදියට ආරක්ෂා කරන්න ඕනෑ. අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි."
සිරංගිකා ලොකුකරවිට