ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය පත්වීම් ලබාදුන් බහුතර සේවක පිරිසකගේ මෙම වසර අවසන් වීමත් සමග කොන්ත්‍රාත් කාලය නිමාවන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට වැටුපෙන් මාසිකව අය කරගැනීමට ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි 'අද'ට වාර්තා වේ.
විශේෂයෙන් කළමනාකාර ශ්‍රේණියේ (Manager Cadre) කොන්ත්‍රාත්ගත සේවකයන් බහුතරයක් මෙලෙස ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි අනාවරණය වේ. ඔවුන් එලෙස ණය ඉල්ලා ඇත්තේ ණය වාරික ගෙවන තෙක් ඔවුන්ගේ සේවා කාලය යළිත් දීර්ඝ කරගැනීමට බව පැවසේ.
මීට අමතරව වසර දෙකක කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට එක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ශ්‍රේණියේ (Senior Manager Cadre) කොන්ත්‍රාත්ගත සේවකයන්, විධායක ශ්‍රේණියේ (Executive Cadre) කොන්ත්‍රාත්ගත සේවකයන්, ලිපිකරු අංශයට අයත් (Clerical Staff) කොන්ත්‍රාත්ගත සේවකයන් සහ සුළු සේවකයන් (Minor Staff) කිහිපදෙනෙක්ද මෙලෙස ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙහිදී කාර්ය භාරයක් නොමැතිව සිටින විධායක ශ්‍රේණියේ කොන්ත්‍රාත්ගත සේවකයන්ගේ සේවා කාලය මෙම වසර අවසන් වීමත් සමග දීර්ඝ නොකිරීමේ තීරණයක් ගෙන ඇතැයි අනාවරණය වන අතර, ඉන් බහුතරයක් හිටපු පරිපාලනය පැවති සමයේ (2016-2018) සේවයට එක්වූවන් ලෙස සැලකේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් රේඩියෝවේ සේවය කරන්නන්ගෙන් ආයතනයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමෙන් එම සේවකයන්ව ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය නිමාවීමෙන් පසුව ඉවත් කිරීමේ සැලසුමක් පවතින බව අනාවරණය වේ. මීට ප්‍රධානතම හේතුවී ඇත්තේ මෙම වෙබ් රේඩියෝවෙන් කිසිදු ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නොලැබීමත් හිටපු පරිපාලනයට සමීප එහි සේවය කරන පුද්ගලයන් කිහිපදෙනෙක්ට මූල්‍ය වංචා පිළිබඳව චෝදනා එල්ල වීමත්ය.
මේ සම්බන්ධයෙන් විමසීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ මහතා සම්බන්ධ කරගත් අතර, හෙතෙම පවසා සිටියේ හදිසි රැස්වීම් කිහිපයක් පැවැත්වෙන බවත් එම රැස්වීම් අවසන්වූ පසු ඔහු අපව අමතන බවත්ය. කෙසේ වෙතත් ඔහු ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.