සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 166ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගය ජැමෙයිකාවේ, කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පසුගිය බ්‍රහස්පතින්දා (12දා) ආරම්භ වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 112ක් ක්‍රීඩාකර සියලු දෙනා දැවී ලකුණු 354ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වේට් ශතක ඉනිමක් (110) ගොඩනගමින් කොදෙව් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ මෙහෙදි හසන් කඩුලු 05ක් (5/93) බිඳලමින් දක්ෂතා දැක්වීය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ පිතිකරුවන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 46.1කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තමීම් ඉක්බාල් ලකුණු 47ක් ලබාගත්තේය. නායකත්වයේ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේසන් හෝල්ඩර් කඩුලු 05ක් (5/44) බිඳළමින් දක්ෂතා දැක්වීය.
යළි සිය දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 129කට සීමා කිරීමට බංග්ලාදේශය පන්දු යවන්නෝ සමත් වූහ. බංග්ලාදේශ වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ෂකීබ් අල් හසන් කඩුලු 06ක් (6/33) බිඳළමින් කොදෙව් දෙවැනි ඉනිම පීඩනයකට හසුකළේය. කෙසේ නමුත් පළමු ඉනිමේ ලද වාසිය හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 335ක ඉලක්කයක් ලබාදීමට කොදෙව්වන්ට හැකිවිය.
ඒ අනුව දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට එවරද සියලු දෙනා දැවී පන්දුවාර 42කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168ක් පමණි. තරගය පරාජයෙන් ගලවා ගැනීමට ප්‍රබල උත්සාහයක් දැරූ ෂකීබ් අල් හසන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 54ක් ලබාගත්තේය. මෙහිදී දෙවැනි ඉනිමේද සාර්ථක පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේසන් හෝල්ඩර් කඩුලු 06ක් (6/59) බිඳළීමට සමත් විය. දෙරට අතර ඇන්ටිගුවාහි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 219ක දැවැන්ත ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ජේසන් හෝල්ඩර් සම්මාන දිනාගත් අතර, හෝල්ඩර් මෙම තරගාවලියේදී කඩුලු 15ක් බිඳළීමට සමත් විය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන 22 වැනිදා ගයනාහිදී ආරම්භ වේ. බංග්ලාදේශ කණ්ඩායමේ කොදෙව් සංචාරයට විස්සයි20 තරග 03ක්ද ඇතුළත් වේ.