ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය. ඒ මෙවර තරගාවලියේ තමන් සහභාගි වූ අවසන් තරගයෙන් ප්‍රභල බ්‍රසීලය පරදා ගෝල 1-0 ක තියණු ජයක් හිමිකර ගනිමිනි.
‘ජී’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර තරගයක් ලබාදුන් අතර තරගයේ 90 වැනි මිනිත්තුව දක්වාම කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකිවිය.
නමුත් තරගය අතරතුරදී අපතේ ගිය කාළය (Injury time) වෙනුවෙන් ලබාදුන් මීනිත්තු කිහිපයේ දෙවැනි මිනිත්තුවේදී සිය ජයග්‍රාහී ගෝලය වාර්තා කිරිමට වින්සන්ට් අබුබකර් සමත්වූයේ සුවිශේෂී ජයග්‍රහණයක් සිය කණ්ඩායමට ලබාදෙමිනි. බ්‍රසීලය ලෝක ශ්‍රේණීගත කිරීම්හි පෙරමුනේ පසුවුවද කැමරූනය පසුවන්නේ 43 වැනි ස්ථානයේ විම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය කැමරූනයට දෙවැනි වටයට යාමට සුදුසුකමක් නොවූ අතර ස්විට්සර්ලන්ත-සර්බියා අතර තරගයෙන් ස්විට්සර්ලන්තය ජයගැනීමත් සමගින් කැමරූනයට එම අවස්ථාව අහිමිවී ගියේය.
මෙවර තරගවාරයේ තරග 3 කට සහභාගිවූ කැමරූන් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙම බ්‍රසීලයට එරෙහි තරග ජයග්‍රහණය වේ. මිට පෙර පැවති තරග දෙකේදී ස්විට්සර්ලන්තය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජය වූ ඔවුන් සර්බියාව හමුවේ ගෝල 3-3 ක් ලෙස සමලෙස අවසන්කර ගත්හ.
මේ අතර මෙම තරගයට පෙර සහබාගි වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ මෙන්ම දෙවැනි වටයේ සිය ස්තානයද තහවුරු කර ගැනීමට බ්‍රසීලය සමත්වී සිටියහ. මෙම තරගයේ පරාජය ඊට කිසිදු බාධාවක් නොවීය.
ස්විට්සර්ලන්තය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
සර්බියාව ගෝල 3-2 ක් ලෙසින් පරාජයට පත් කරමින් මෙවර තරගාවලියේ දෙවැනි වටයට (අවසන් 16 දෙනාගේ වටයට) සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහා හිදී පැවැත්විණි.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ‘ජී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්විය.
ඔවුන් මීට පෙර තරගාවලියේ කැමරූනය සමග තරගය ගෝල 1-0 ක් ලෙසින් ජයගනිද්දී බ්‍රසීලය සමග තරගය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්විය. අවසන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ඔවුන් බ්‍රසීලය හා සමලකුණු මට්ටමට පැමිණියද ගෝල වාර්තා කිරිම් අනුව බ්‍රසීලය ඔවුන් අබිබවා සිටියි.
මේ අනුව ස්විට්සර්ලන්තය අඛණ්ඩව තෙවැනි වරටත් ලෝක කුසලාන තරගාවලියේදී දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැණීමට සමත්වූහ. මේ අනුව’ජී’ කාණ්ඩය් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය කැමරූනයටද සිව්වැනි හා අවසන් ස්ථානය සර්බියාවටද හිමිවිය.