සංජීව ධර්මසේන (බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට)
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (25දා) ආරම්භ විය.
එහිදී තරග ඉසව් ආරම්භ කරමින් අද උදෑසන පැවති කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට උතුරු පළාත නියෝජනය කළ ජෙගදීෂ්වරන් අනීතා සමත් වූ අතර, ඇය මී. 3.30ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය. මෙහි රිදී හා ලෝකඩ පදක්කම් බස්නාහිර පළාතේ ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ. එහිදී රිදී පදක්කම ඩබ්.අයි. උදේනි සිල්වා විසින් දිනාගත් අතර, ඇය මීටර 3.10ක දක්ෂතාවක් දැක්වූවාය. ලෝකඩ පදක්කම කේ.එල්.එස්.කේ. පෙරේරා විසින් දිනාගත්තේ මී. 3.00ක දක්ෂතාවක් දක්වමිනි.
රිටි පැනීම කාන්තා රන් පදක්කම
මෙම ඉසව්වේ ක්‍රීඩා උළෙල වාර්තාව (මී. 3.48) මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ජෙගදීෂ්වරන් අනීතා වන අතර, ඇය 2018 වසරේදී මීටර 3.55ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා ඇත.
මේ අතර අද පැවති මිටිය විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දකුණු පළාතේ එම්.ඩී.ආර්. සිසිර කුමාර සමත් විය. ඔහු මීටර 47.67ක දක්ෂතාවක් දක්වමින් සිය පදක්කමට ලගාවිය. මීටර 45.74ක දක්ෂතාවක් දැක්වූ සබරගමුව පළාතේ කේ.කේ.ඩී.එම්. ධර්මසේන මෙහි රිදී පදක්කම දිනාගත් අතර, ලෝඩක පදක්කම දිනාගැනීමට වයඹ පළාත නියෝජනය කළ ඩබ්.ජී.එස්.ආර්. කුමාරසිරි සමත් විය. ඔහු මීටර 44.95ක දක්ෂතාවක් දැක්වීය.
මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (2015 වසරේදී/ මී. 52.53) මෙන්ම ක්‍රීඩා උළෙල වාර්තාවට (2014 වසරේදී/ මී. 49.69) වයඹ පළාතේ චරිත් කපුකොටුව හිමිකම් කියයි.
මිටිය විසි කිරීම පිරිමි රන් පදක්කම
යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය. මෙහි රිදී පදක්කම දකුණු පළාතේ පී.ඒ. ප්‍රියංගිකා කුමාරි විසින් දිනාගත් අතර, ඇය මීටර 12.08ක දක්ෂතාවක් දැක්වූවාය. ඌව පළාත නියෝජනය කළ පී.පී.එස්. ක්ලෙරන්ස් මෙහි ලෝඩක පදක්කම දිනාගත් අතර, ඇය 11.37ක දක්ෂතාවක් දැක්වීය.
මෙම ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාව මෙන්ම ක්‍රීඩා උළෙල වාර්තාව වන 2016 වසරේදී බඩ්.ටී.කේ. ප්‍රනාන්දු දක්වා තිබූ මී. 15.25ක දක්ෂතාව දැක්වීමට හෝ ඒ ආසන්නයට ලගාවීමට කිසිවෙකුට හෝ නොහැකි විය.
යගුලිය විසිකිරීම රන් පදක්කම
අද පැවති කාන්තා දුර පැනීම ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම බස්නාහිර පළාතේ ක්‍රීඩිකාවන් විසින් දිනාගැනීම සුවිශේෂී විය. එහිදී අංජනී පුල්වංස විසින් රන් පදක්කම දිනාගත්තේ මීටර 5.96ක දක්ෂතාවක් දැක්වමිනි. මීටර 5.76ක දක්ෂතාවක් දැක්වූ ඩබ්.වී.එල්. සුගන්දි මෙහි රිදී පදක්කම දිනාගත් අතර, එස්.එච්. හෙන්ඩර්සන් මීටර 5.67ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගත්තාය.
මෙම ඉසව්වේ ක්‍රීඩා උළෙල වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවට බස්නාහිර පළාතේ එන්.සී.ඩී. ප්‍රියදර්ශනී හිමිකම් කියා ඇති අතර, ඇය 2015 වසරේදී මීටර 6.43ක දක්ෂතාවක් දක්වා ඇත.
දුර පැනීම කාන්තා රන් පදක්කම
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර මෙම ක්‍රීඩා උළෙලේ තවත් තරග රැසක අවසන් තරග අද සවස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර පාපන්දු කාන්තා අවසන් තරගය අද (25දා) රාත්‍රියේ විදුලි ආලෝකධාරා මධ්‍යයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ක්‍රීඩා උළෙල අනිද්දා (27දා) අවසන් වෙයි.