ඉදිරියේදී ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් කර ක්‍රීඩාව ආදායම් ලබන වෘත්තියක් බවට පරිවර්තනය කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙම මස 26, 27 දිනවල ආරුගම්බේ වෙරළ තීරයේ පැවැත්වෙන රළ මත ලිස්සායෑමේ (Surfing) තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා (11දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ක්‍රීඩාව රටට හෝ ආණ්ඩුවට බරක් නොවන ක්ෂේත්රයක් බවට පරිවර්තනය කර ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පත්කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ක්‍රීඩාව රටේ ආර්ථිකයට වගේම, රටේ ජනජීවිතය ගොඩනැගිය හැකි ආකාරයට ප්‍රතිසංවිධානය කළ හැකි නව වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න.
ලෝකයේ ක්‍රීඩාව කියන්නේ ආදායම් ලබන වෘත්තියක්. ක්‍රීඩකයෙක් කියන්නේ ව්‍යසායකයෙක්. නමුත් අපි පසුගිය කාලයේ ක්‍රීඩකයා දිහා බැලුවේ ඉතාමත් පහත් මට්ටමින්. සමහර තෝරාගත් ක්‍රීඩා ඉසව් සඳහා ඉහළ ස්ථරයක් ලබා දුන්නත්, අපි ක්‍රීඩකයා දිහා බැලුවේ අමුතු විදියට. මම හිතන්නේ අපි අද ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් ලෙස බලන කාලය ඇවිල්ලා කියලා. ලෝකයේ ඕනෑම රටක තමන්ගේ පවුලේ දරුවෙක් ක්‍රීඩාවෙන් ඉහළට යනවා කියන්නේ ඒ දරුවගේ දෙමාපියන්ට ගෞරවයක් වගේම පවුලට ආදායමක්. නමුත් අපේ සමහර පවුල්වලට දරුවා හොඳින් ක්‍රීඩා කරනවා කියන්නේ අම්මා තාත්තට හිසරදයක්. සපත්තු දෙකක් අරන් දෙන්නේ කොහොමද, ඇඳුම් අරන් දෙන්නේ කොහොමද, ජාතික ක්‍රීඩා තරගාවලියකට යවන්නේ කොහොමද යනාදී ආර්ථික ගැටලු ඇති වෙනවා. මේක තමයි යථාර්ථය.
ලංකාවේ දකුණු මුහුදු තීරය වගේම ඇල්ල හා බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල කඳුවැටි, එම ප්‍රදේශවලට අාවේණික සංචාරක වැදගත්කමක් තිබෙන, ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රදේශ ලෙසයි ලෝකය තුළ පිළිගැනීමක් තිබෙන්නේ.
කඳු තරණය කරන්න ලෝකයේ බොහෝ පිරිසක් ඇල්ලට එනවා. ඒ වගේම වෙරළ ක්‍රීඩා (Surfing) කරන්න විශාල පිරිසක් ලංකාවට එනවා. මේවා හඳුනාගෙන ඒ සඳහා සුවිශේෂී වූ වැඩපිළිවෙළක් මෙරට තුළ ස්ථාපනය කළ යුතුයි. ඒ සඳහා සංචාරක අමාත්‍යාංශයත්, පෞද්ගලික ආයතනත් ඒකරාශී කරගෙන නව ක්‍රීඩා තරගාවලි ආරම්භ කළ යුතුයි.
අපේ ඉලක්කය තමයි ඉදිරි පස්වසරක කාලසීමාව තුළ අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පත් කිරීම. එය සංචාරක ව්‍යාපාරයෙන් වෙන්න පුළුවන්, නැති නම් ක්‍රීඩාව හා බැඳුණු උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සහ ඇඟලුම් නිෂ්පාදනය කර අපනයනය කරන ක්ෂේත්‍ර වෙන්න පුළුවන්. එසේත් නැති නම් සර්ෆින්, ක්‍රිකට්, රගර් වැනි ජාත්‍යන්තරයේ කීර්තියක් දිනාගත් ක්‍රීඩාවකින් වෙන්න පුළුවන්. මේ සියල්ලන්ගෙන්ම අපේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන ආර්ථිකයක් හදන්න අපි කටයුතු කරනවා.
පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකතු වෙලා අපි මේ ගමන ගියොත් අපට හැකියාව ලැබෙයි ඒ ඉලක්කය කරා ගමන් කරන්න. මොකද තවදුරටත් අනාගතයේ ක්‍රීඩාව රටට, ආණ්ඩුවට බරක් නොවන ක්ෂේත්රයක් බවට පරිවර්තනය කරන්න ඕන යනුවෙන් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ, මොබිටෙල් ආයතනය නියෝජනය කරමින් රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.