එක මුහුණක් චරිත තුනක්
චාමිකගේ දක්ෂතා ගැන මුරලි කතා කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන චාමික කරුණාරත්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරගාවලියේ අද පැවැති දෙවැනි තරගයේදී මීට පෙර පැවැති පළමු තරගයේදීත් ඔහු පිත්තෙන් දක්ෂතා දැක්වීම හේතවෙනි.
චාමික පළමු තරගයේදී නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර අද තරගයේදීද නොදැවී ලකුණු 44ක් රැස්කළේය. චාමික වේගපන්දු යවන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
නමුත් චාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.
25 හැවිරිදි චාමික කරුණාරත්නය. චාමික කුඩා කළ මෙරට කණිෂ්ට හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා ශූරයාය. පසුව ඔහු කණිෂ්ට සහ ජ්‍යෙෂ්ට මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හිණිපෙත්තටම පියනැගීය. දැන් මොහු ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකුවේ.
චාමික පැවැත එන්නේ ක්රීඩාවටම නැඹුරුවූ පවුලකිනි. ඔහුගේ පියා ලූයි කරුණාරත්න බැඩ්මින්ටන් ක්ෂේත්රයේ ඉහළ නිළදරුවෙකි. වැඩිමහල් සොහොයුරු නිලූක ශ්‍රී ලංකාවේ අංක 1 බැඩ්මින්ටන් ශූරයා වන අතර මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය දරන්නේද නිලූකයි.
චාමිකගේ අනෙක් සොහොයුරා වන දිනුක කරුණාරත්නද බැඩ්මින්ටන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රෙය් තවත් ක්‍රීඩාවන්හි කැපී පෙනෙන්නෙකි.
කොළඹ රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න 2018 වසරේ අවුරුදු විසිදෙකේදී ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායම් නියෝජනය කළේ ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගය.
අවුරුදු 19දී ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියට සුදුසුකම් ලැබූ චාමික පසුව එන්.සී.සී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්විණි.
මේ වසරේ පෙබරවාරි මස පැවැති ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ කේවල (Singals) අවසාන තරගයට සුදුසුකම් ලැපූ මොහු තරග වැදුණේ සිය සොහොයුරා වන අංක 1 ක්‍රීඩක නිලූක කරුණාරත්න සමගය.
චාමික කරුණාරත්න ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සහ එමර්ජින් (නැගී එන) කණ්ඩායම් නියෝජනය කළ අතර ඔහුගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණේ එමර්ජින් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවේය. වරක් ඔහු ලකුණු හතරකට කඩුලු 4ක්ද ලැබීය.
චාමිකගේ දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්ව සඳහන් කර තිබුණේ මේ අයුරිනි..
“චාමික සහභාගීවන පාසල් ක්‍රිකට් තරග මම බලලා තිබෙනවා. ඔහු පන්දුයවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා ගොඩක් තිබෙනවා. හොඳ ක්‍රීඩා කෞෂල්‍යයක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඔහු දක්ෂතා රාශියකින් හෙබි ක්‍රීඩකයෙක්. ඔහු තමන්ගේ දක්ෂතාව භාවිත කරනවා. ඔහුට හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විය හැකියි.”