තරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ. එමෙන්ම මෙම නිලධාරිනිය පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද මුනිවත රකින අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්ම ඉහළ නිලධාරීන් පිරිසකගේ සහයද මෙම නිලධාරිනිය පත් කිරීමට ලැබී තිබේ.
මෙම නිලධාරිනිය යොවුන් ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමති ධූරය දරන සමයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත් කළ අතර, ඇයගේ පුහුණුකාරිත්වය යටතේ සහභාගී වූ එම තරගාවලිය දැඩි මතභේදයට තුඩු දුන් තරගාවලියක් විය. ඒ එම පුහුණුකාරිණිය තෝරාගන්නා ලද ක්‍රීඩිකාවට නායකත්වය ලබා නොදීම මත සැලසුම් සහගතව කණ්ඩායමේ බෙදීම් ඇති කරමින් තරග පාවාදීමට උත්සහ කළේ යැයි චෝදනා ලබමිනි.
එවකට මෙරට දැල්පන්දු සංගමයේ සභාපතිනිය වශයෙන් කටයුතු කළ යසා රාමචන්ද්‍ර මහත්මිය ඇතුළු කමිටුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර එම ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකාරිනියට චෝදනා ගොනු කර තිබුණත් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහු ක්‍රීඩා ඇමැතිටත් කොළේ වසා එම සිදුවීම යටපත් කළහ.
එහෙත් මෙතෙක් කලක් දැල්පන්දු ක්‍රීඩාව සඳහා ව්‍යාපෘති නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමාරිහාමි තෙන්නකෝන් මහත්මිය විශ්‍රාම යාමත් සමග යළිත් දැල්පන්දුවේ ව්‍යාපෘති නිලධාරිනිය වශයෙන් තරග පාවාදීමේ චෝදනා එල්ල වූ මෙම නිලධාරිනිය පත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ඉහල නිලධාරියෙකු පවසා සිටියේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවත් එලෙස චෝදනා සාක්ෂි සහිතව ඔප්පු වී ඇත්නම් ඇයව එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.