ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනිදා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයන් රැසක් නඩු මගට පිවිස තිබේ. ඒ එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව දන්වමිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් ක්‍රීඩා සමාජ සහ සංගම් බහුතරයක් වත්මන් ක්‍රිකට් පරිපාලනයට සහාය පළ කරමින් ලිපි ලබාදී ඇත.
මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නව රෙගුලාසි ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් විධායක කමිටුව විසින් අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්කර ඇති අතර, සාමාජිකයන්ගේ ලිපිද ඊට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයන් වන පළාත් සංගම් (Provincial Associations) 05න් 04ක්ද, ක්‍රිකට් සංගම් (Cricket Associations) 06න් 04ක්ද, දිස්ත්‍රික් සංගම් (District Associations) 22න් අතිබහුතරයක්ද, සාමාජික ක්‍රීඩා සමාජවලින් (Controlling Clubs & Affiliated Clubs) බහුතරයක්දමෙලෙස අමාත්‍යවරයාගේ රෙගුලාසිවලට විරෝධය දක්වමින් ලිපි ලබාදී ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
ක්‍රීඩාවට දේශපාලන බලපෑම්?
ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නව රෙගුලාසිවල 'ක්‍රීඩාවට සුවිශේෂී දායකත්වයක් දැක්වූ සහ රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයෙකු' ක්‍රීඩා සංගම්වල තනතුරකට පත් කිරීමේ හැකියාව අමාත්‍යවරයා වෙතට ලබාගැනීමෙන් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවී ඇති බව එම විරෝධතා දැක්වූ සමහර සංගම්වල ප්‍රධානීහු 'අද'ට පැවසූහ. එය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගනිමින් තමන් මෙම නව රෙගුලාසිවලට විරෝධය දැක්වූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
අවුරුදු 70 නීතිය සහ වසර 08කට වඩා විධායක කමිටුව නියෝජනය කිරීම
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික සංගම් බහුතරයක් මෙම නව රෙගුලාසිවල 'අවුරුදු 70 නීතිය සහ වසර 08කට වඩා විධායක කමිටුව නියෝජනය කිරීම' යන රෙගුලාසිවලට විරෝධය දක්වයි. ඔවුන් ප්‍රශ්න කර සිටිනුයේ මෙරට උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පවා වයස අවුරුදු 70ට වැඩි අපේක්ෂකයන්ට තරග කිරීමේ අවස්ථාව ලබාදෙනවා නම් ජාතික ක්‍රීඩා සංගම්වලට එම නීතිය පනවන්නේ කෙසේද? යන්නයි. එමෙන්ම ඕනෑම පුරවැසියෙකුට මානව හිමිකම් සහ මූලික මිනිස් අයිතිවාසිකම් ඇති බවත්, වසර 08කට වඩා විධායක කමිටුව නියෝජනය කළ නිලධාරීන්ට තනතුරු දැරීම තහනම් කිරීමෙන් එය කඩවන බවත්, එහෙත් ගරු අධිකරණය ලබාදෙන තීන්දුවට හිස නමන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම නඩුව යළිත් හෙට (24දා) දිනයේදී කැඳවීමට නියමිත අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට සහාය පළ කරමින් හිටපු පරිපාලකයන් පිරිසක්ද ලිපි ලබාදී තිබේ.
ඒ අතරට හිටපු අතුරු කමිටු සභාපතිවරුන් දෙදෙනෙකු වන සිදත් වෙත්තමුණි සහ උපාලි ධර්මදාස, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපසභාපති කේ. මතිවානන් සහ වත්මන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික සහ හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන මහත්වරුද වෙති.