ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා 'අද'ට පැවසීය.
ඔහු පවසා සිටියේ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ක්‍රීඩක වර්ගීකරණයේ අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින්නේ නම් ඒ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට තම කමිටුව සූදානම් බවයි. එමෙන්ම මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු එම ගැටලු මොනවාද යන්න අර්ථකථනය කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද ද සිල්වා මහතා,
“අපි ඕනෑම අවස්ථාවක මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරන්න සූදානම්. අපි ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තුවක් ලබාදුන්නේ නිසි ඇගයීමක් කරලා. ඊට ඔවුන් දැක්වූ දක්ෂතා, පළපුරුද්ද, ජ්‍යෙෂ්ඨත්වය සහ අනෙකුත් කාරණා සියල්ලම සලකලා බලලා තමයි ඇගයීම කළේ. එම ඇගයීමේ ලකුණු ඕනෑම ක්‍රීඩකයෙකුට ඕනෑම අවස්ථාවක බලන්න පුළුවන්. කෝවිඩ් ප්රශ්නය නිසා අපි මේ ඇගයීම කළේ ඔන්ලයින් ක්‍රමයට. ඒ නිසා ඕනෑම ක්‍රීඩකයෙකුට පුහුණුකරු මාර්ගයෙන් එම තොරතුරු බැලීමේ අවස්ථාව අපි ලබාදීලා තියෙනවා.
අපි තවත් නම්‍යශීලී වෙලා ඕනෑම ක්‍රීඩකයෙක් තනි තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ සාකච්ඡා කරන්න අවශ්‍ය පසුබිම සලසලා තියෙනවා. අද අපි ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ 09, 10 වැනි ස්ථානවල. මේ සියල්ලම බලල ක්‍රිකට් උඩට ගන්න අපි සිස්ටම් එකක් හැදුවම මෙහෙම විරුද්ධ වෙන එක සාධාරණ නැහැ. අපි හැම ක්‍රීඩකයෙකුටම උපරිම සාධාරණයක් කර තිබෙනවා. අනෙකුත් රටවල කොන්ත්‍රාත් පිරිනැමීමට සිස්ටම් එකක් එහෙමත් නැත්නම් ක්‍රමවේදයක් තිබෙනවා. අපේ විතරයි නැත්තේ.
පසුගිය කාලේ මුහුණ බලල කොන්ත්‍රාත් දුන්නට අපි එහෙම කරන්න සූදානම් නැහැ. අපි දැන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒකෙත් අඩුපාඩු තියෙනවා නම් අපි ලෑස්තියි සාකච්ඡා කරන්න. තරග අංශ තුනම (ටෙස්ට්, එක්දින සහ විස්සයි20) ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙම කොන්ත්‍රාත්තුවෙන් වාසියක් තිබෙනවා. හැබැයි දක්ෂතා දක්වලා ඕනෑම කෙනෙක්ට ඒ තත්ත්වයට එන්නත් පුළුවන්.
මේ ක්රමයේ විනිවිදභාවයක් නැහැ කියනවා නම් අපි සූදානම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ඇගයීමේදී ලැබුණු ලකුණු අනුව තමයි කොන්ත්‍රාත්තුව හිමිවෙලා තියෙන්නේ. අපි ඒ ලකුණු ක්‍රීඩකයන්ට පෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. ඕනෑම ක්‍රීඩකයෙක්ට ඒ ලකුණු බලන්න පුළුවන්.” යැයි පවසා සිටියේය.
කොන්ත්‍රාත් පිරිනැමීමේදී ක්‍රීඩක වර්ගීකරණයේ සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න කරමින් වාර්ෂික සහ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට තම නියෝජිත ලෙස නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා පත් කර තිබුණු අතර, ක්‍රීඩකයන් වෙනුවෙන් හෙතෙම පෙරේදා (05දා) නිවේදනයක් නිකුත් කරමින් ඉහත කරුණු අනාවරණය කර තිබුණි.
මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ දක්ෂතාව සහ ශාරීරික යෝග්‍යතාව මත පමණක් පදනම් වූ ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් සපුරා එකඟ නමුත්, මේ වන විට ඉදිරිපත් කර ඇති ආකාරයේ කිසිදු විනිවිද භාවයකින් තොර, දක්ෂතා හා ශාරීරික යෝග්‍යතාව හැර වෙනත් තාත්වික නොවන, පදනම් විරහිත කරුණු මත ක්‍රිකට් ක්‍රීඩකයන් වර්ගීකරණය කරන ආකාරයේ ගිවිසුම්වලට ක්‍රීඩකයන් විරුද්ධ බවයි.
ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ක්‍රීඩකයන් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කළේය. එමෙන්ම මෙම ගැටලුව විසදන තෙක් ඉදිරියේ දී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයන් පිළිබඳවද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොකිරීමට ක්‍රීඩකයන් තීරණය කර ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් ගිවිසුම් අත්සන් නොකිරීමට ක්‍රීඩකයන් තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද එහි සඳහන් වේ.
මෙහිදී ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 38 දෙනෙකු ගිවිසුම් අත්සන් නොකිරීමට කටයුතු කර ඇති අතර, වත්මන් එක්දින ක්‍රිකට් නායක කුසල් පෙරේරා සහ උපනායක කුසල් මෙන්ඩිස්ද ඊට ඇතුළත් වේ.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් වත්මන් ක්‍රිකට් විධායක කමිටුවට වගකීමක් නොමැති බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ස්වාධීන කමිටුවක් වන අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව එහි වගකීම දරන බවත්ය.
“ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අපිට වගකීමක් නැහැ. අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඒ බලතල අපිට පවරන්න, එතකොට මෙම ගැටලුව අපි ඉතා ඉක්මනින් විසඳනවා. කවදාවත් මේ වගේ ප්‍රශ්න ඇවිත් නැහැ. ඉතින් අපි ගාව මේ ප්‍රශ්නයට විසඳුම් තියෙනවා. ක්‍රීඩකයන් වුණත් කැමතියි මේ ප්රශ්නය ක්‍රිකට් ආයතනයත් සමග විසඳ ගන්න. එහෙත් අද ඒ අවස්ථාව ක්‍රීඩකයන්ට අහිමිවෙලා තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.