ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ බස්නාහිර පළාත් ක්රිකට් සංගමය එකාබද්ධව සංවිධානය කරන තෙවැනි කාණ්ඩයේ තරග (Division-3) විනිශ්චය කරන විනිසුරුවෙකුගේ ගෙවීම් කප්පාදු කර ඇති බවට ක්රිකට් විනිසුරුවෝ චෝදනා කරති.
ඔවුන් චෝදනා කර සිටිනුයේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ බස්නාහිර පළාත් ක්රිකට් සංගමය එකාබද්ධව සංවිධානය කරන තෙවැනි කාණ්ඩයේ තරගයක විනිසුරු ගාස්තුව රු.3,500ක් දක්වා පහත දමා ඇති බවයි. ලකුණු සටහන්කරුවෙකුට රු. 4,000ක් සහ පාසල් ක්රිකට් තරගයක විනිසුරුවෙකුට රු.4,500ක් දක්වා ගෙවීම් කරන සමයක තෙවැනි කාණ්ඩයේ විනිසුරුවන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවද ඔවුන් සඳහන් කරති.
එමෙන්ම පාසල් ක්රිකට් තරගයකට වඩා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ තරගයකට ගෙවන දීමනාව අඩුවූ පළමු අවස්ථාව මෙය බවත්, විනිසුරුවෙකුට වඩා ලකුණු සටහන්කරුවෙකුටගෙවන දීමනාව වැඩි වූ පළමු අවස්ථාව මෙයවීම කනගාටුවට කරුණක් බවත් ක්රිකට් විනිසුරුවෝ පවසා සිටිති.
මෙය තෙවැනි කාණ්ඩයේ විනිසුරුවන්ට සිදුකරන ඉතාමත්ම අසාධාරණ ක්රියාවක් බවත්, වගකිවයුතු බලධාරීන් මීට මැදිහත්වීමක් කර මෙම දීමනාව වැඩි කරදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
ශ්රී ලංකා ක්රිකට් ආයතන පළමු කාණ්ඩයේ තරග විනිසුරුවන්ට රු.4500ත්, රු.5000ත් අතර මුදලක් එක් තරගයකට මේවනවිට ගෙවන බවත්, එය සරා තරගාවලියේදී තුන් ගුණයක් සහ ප්රිමියර් තරගාවලියේදී දෙගුණයක් දක්වා වැඩිවන බවත් ඔවුහු පෙන්වාදෙති.
අප මේ සම්බන්ධයෙන් ක්රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් සමන් හේවාවිතාරණ මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ මෙම තරග සංවිධානය බස්නාහිර පළාත් ක්රිකට් සංගමයෙන් සිදුවන නිසා ඒ සඳහා තම සංගමයට මැදිහත් වීමක් සිදු කිරීමට නොහැකි බවයි. එසේම තම සංගමයේ කිසිම විනිසුරුවෙකු රු. 4,500ට අඩුවෙන් කිසිම තරගයක් විනිශ්චය නොකරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ක්රිකට් සංගමයේ විනිසුරු, තරග පැවරුම් ලේකම් සේන නන්දවීර මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා පවසා සිටියේ කොළඹින් පිට පැවැත්වෙන තරගවලට තවමත් රු. 4,500ක මුදලක් එක් තරගයකට ගෙවන බවයි. එසේම තමා දන්නා පරිදි මීට පෙරත් විනිසුරුවන්ට ගෙවීම් කර තිබුණේ ඒ විදිහට බවත්, මෙය තමන් සිදු කළ කරුණක් නොව බස්නාහිර පළාත් ක්රිකට් සංගමයේ තරගාවලි කමිටුව ගත් ප්රතිපත්තිමය තීරණයක් බවත් හෙතෙම පවසා සිටියේය.