තරග පාවාදීම්, තහනම් උත්තේජක ආදී කරුණු ගැන සොයා බලනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වන වර්ගවාදය පිළිබඳ බැරෑරුම්ව කතා කළ යුතු බවත්, එවැනි අවස්ථාවලදී ඊට එරෙහිවද දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායක ජේසන් හෝල්ඩර් පවසයි.
ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණවලට එරෙහිව සිදුකෙරෙන විරෝධතා (Black Lives Matters) වෙනුවෙන් හඬක් නගමින් හෝල්ඩර් පෙන්වා දෙන්නේ, සමානාත්මතාව හා සමගිය ඇතිවන තෙක් වර්ගවාදයට ස්ථිර පිළිතුරක් නොලැබෙන බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජේසන් හෝල්ඩර්,
&මේ වෙනුවෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතුයි. මේක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ තීරණාත්මක සන්දිස්ථානයක්. විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත්. අපි එංගලන්තයට ඇවිත් තිබෙන්නේ ටෙස්ට් තරගාවලියකට වුණත්, ලොව පුරා සිදුවන සිදුවීම් සහ යුක්තිය සහ සමානාත්මතාව සඳහා වන සටන පිළිබඳ‘ අපි ඉතා දැනුම්වත්* යනුවෙන් පවසයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) නීති මාලාව තුළ වර්ගවාදී අපහාස සඳහා ජීවිතාන්තය දක්වා තරග තහනම් නියමකර තිබුණද, වැරදිකරුවෙකුට එවැනි දඬුවමක් පනවන්නේ කලාතුරකිනි.
අයි.සී.සී. වර්ගවාදී විරෝධී ප්‍රතිපත්තිය යටතේ, පළමු වරදට සාමාන්‍යයෙන් අත්හිටුවීමේ දඬුවම් ලකුණු 04 – 08 අතර ලබාදේ. එහිදී අත්හිටුවීමේ ලකුණු දෙකක් ටෙස්ට් තරගයකට හෝ එක්දින ජාත්‍යන්තර තරග දෙකකට හෝ විස්සයි20 තරග දෙකක් තහනම් කිරීමකට සමාන වේ.
පාකිස්තානයේ හිටපු නායක සෆ්රාස් අහමඩ් 2019 වසරේදී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩිලේ ෆෙලුක්වායෝට වර්ගවාදී ප්‍රකාශයක් කිරීම හේතුවෙන් ඔහුට දඬුවම් වශයෙන් එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග දෙකක් තහනම් කෙරුණේ ඉහත දඬුවමට ප්‍රකාරවය.
එමෙන්ම ප්‍රේක්ෂයන්ගෙන් එල්ලවන වාර්ගික ප්‍රකාශ හේතුවෙන් වරක් අපහසුතාවට පත් වූ එංගලන්ත ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ අත්දැකීම්ද හෝල්ඩර් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ, වර්ගවාදයට එරෙහිව ගනු ලබන දඬුවම් ලිහිල් නොකළ යුතු බවයි.
"මම හිතන්නේ නැහැ තහනම් උත්තේජක, තරග පාවාදීම්වලට දැඩි දඬුවම් නියම කරනවා වගේම වර්ගවාදයට එරෙහිව ගනු ලබන දඬුවම් ලිහිල් කළ යුතුයි කියලා. අපගේ ක්‍රීඩාව තුළ අපට ගැටලු තිබේ නම්, ඒවා සුහදව විසඳා ගැනීමට අපි කටයුතු කළ යුතුයි."
ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තයට පැමිණි හෝල්ඩර්, වර්ගවාදයට එරෙහි සටනට (BLM) සහයෝගය ලබාදෙන බවට සහතික විය. ඒ අනුව එළඹෙන ටෙස්ට් තරග තුනේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ජර්සියේ 'Black Lives Matters' ලාංඡනය සහිතව ක්‍රීඩාකරනු ඇති බවට මේ වනවිට ඉඟි පළ වෙමින් තිබේ.
&බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ගැන වගේම ඉතිහාසය ගැනත් තරුණ කණ්ඩායමක් ලෙස අපි දන්නවා. ඉදිරි පරම්පරා සඳහා අප, මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවේ භාරකරුවෝ බවද දන්නවා. අපි අපේ තීරණය සැහැල්ලුවට ගත්තේ නැහැ. අපගේ සමේ පැහැය නිසා මිනිසුන් විනිශ්චය කිරීම යනු කුමක්දැයි අපි දන්නවා. සියල්ලන්ට සමානාත්මතාව, සමගිය තිබිය යුතුයි. මිනිසුන් වශයෙන් අපට එය ලැබෙන තුරු අපව නතර කළ නොහැකියි* යනුවෙන් හෝල්ඩර් පවසයි.
හෝල්ඩර් පෙන්වා දෙන්නේ සෑම ජාත්‍යන්තර තරගාවලියකට පෙර කණ්ඩායම් දෙකටම ඔවුන්ගේ වගකීම් (ආචාරධර්ම රැකීම) පිළිබඳ මතක්කර දිය යුතු බවයි.
"තහනම් උත්තේජක හා තරග පාවාදීම්වලට අතිරේකව තරගාවලියක් ආරම්භ කිරීමට පෙර වර්ගවාදයට එරෙහිවද නීති රාමුවක් තිබිය යුතුයි. මගේ පණිවිඩය ඒ සඳහා වැඩි අධ්‍යාපනයක් අවශ්‍ය බවයි.
මම කිසිම වාර්ගික ප්‍රකාශයකට මුහුණ දී නැතත්, ඒ වටා ඇති කරුණු කිහිපයක් අසා හෝ දැක තිබෙනවා. එය ඔබටද නොපෙනී තිබිය නොහැකියි" යනුවෙන් ඔහු පැවසීය.
හෝල්ඩර්ගේ සමකාලීනයන් වන ක්‍රිස් ගේල් සහ ඩැරන් සැමී මෙන්ම ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග වර්ගවාදයට එරෙහිව හඬ නැගූ ක්‍රීඩකයෝ වෙති. එමෙන්ම කොදෙව් හිටපු නායකයෙකු වන ඩැරන් සැමී ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී ද වර්ගවාදය ඇති බවට චෝදනා කළේය. ඔහු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද වෙයි.
විස්ඩන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 'බ.ඉ. කොදෙව් - එංගලන්ත' ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූලි මස 08 වැනිදා සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වීමට නියමිතව ඇත.