ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව 'අද'ට වාර්තා වේ.
මෙලෙස කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා සහ උපභාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුය.
පසුගිය 03 වැනිදා පැවති කෝප් කමිටු සැසිය මගහැරීම සහ ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කරුණු විමසීමට නියමිතය.
මීට අමතරව කෝප් කමිටුවට සිව්වරක් නොපැමිණීම සම්බන්ධයෙන් සහ සමහර නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන විට අසනීප වීම සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් කරුණු විමසීමට නියමිතය.
මේ අතර හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද කෝප් කමිටු සැසිය හමුවේ පිළිතුරු සැපයීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණු අතර, ඒ අනුව අද දිනයේ හෝ හෙට (19දා) දිනයේ හිටපු ක්‍රිකට් සභාපතිවරයා ඊට සහභාගි වනු ඇතැයි ක්‍රිකට් විධායක කමිටු සාමාජික ප්‍රියන්ත සොයිසා මහතා පැවසීය.
හිටපු ක්‍රිකට් සභාපතිවරයා ලෙස සහභාගි වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු ක්‍රිකට් සභාපතිවරයා ඊට සහභාගී වනු ඇති බව සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර හෙට (19දා) දිනයේදී යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනෙකුත් නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීශාන් සූරියආරච්චි ඇතුළු එම අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට් ආයතනය) කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය. මෙහිදී තවත් මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ රැසක් පිළිබඳව කරුණු විමසීමට නියමිතය.