ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව 'අද'ට වාර්තා වේ.
එහෙත් වහාම අද (18දා) සිට ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ලබාදුන් ඇමැති නියෝගය සතියකින් කල් යන ලකුණු පහළ වී තිබේ.
තමාට ලබාදුන් මෙම අසාධාරණ තීරණය සම්බන්ධයෙන් ඊයේ (17දා) චානක ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එම අභියාචනය සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම අසාධාරණ තීන්දුව ඉවත් කරගන්නා ලෙස ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට නියෝග කර තිබේ.
අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමාගේ පාලන කාලය තුළ තමන් නිවැරදි තීන්දු, තීරණ ගන්නා බවත් සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවත්ය.
එමෙන්ම වසර 17ක් සේවය කර ඇති මෙවැනි සේවකයන්ට ස්ථාන මාරු දීමට පෙර ක්‍රිකට් ආයතනයේ බරපතළ වංචා සහ දූෂණ සොයා බලා ඒවා නැවත්වීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
"මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කළ පුද්ගලයෙක්. අනික ඔහුව මාරු කර තිබෙන්නේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පාලනය වන සරේ ක්‍රීඩාංගණයට. ඒක සාධාරණ නැහැ. චානක ශ්‍රී ලංකා ක්‍රිකට්හි ස්ථිර සේවකයෙක්. ඔහුට එවැනි ස්ථාන මාරුවක් ලබාදීම අසාධාරණ තීන්දුවක්. ඒ නිසා එම වරද නිවැරදි කිරීමට මම නියෝග කළා. අද සිට ඔහුට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම සේවය කළ හැකියි. එය මම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිතව දන්වලා තිබෙනවා." යැයි පවසා සිටියේය.
කෙසේ වෙතත් මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට සතියක කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා 'අද'ට ප්‍රකාශ කර සිටියේය.
"අපි චානකව ට්‍රාන්සර් කළේ ක්‍රිකට් ආයතනයේ තීන්දුවක් මතයි. අපිට චානක අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සහ ක්‍රීඩා අමාත්‍යතුමා ලබාදුන් තීන්දුව සලකා බලන්න පුළුවන් තව සතියකින් පැවැත්වෙන කමිටු රැස්වීමේදීයි. අපි මේ දිනවල අභ්‍යන්තරව සේවය කරන සේවකයන්ට අත්දැකීම් ලබාදෙන්න මාරුවීම් කරනවා. අපි හරි තැන්වලට තමයි එම මාරුවීම් කරන්නේ.
චානකටත් අනාගතයක් තියෙන්න ඕන නිසයි අපි එයාව මාරු කළේ. අනිත් කරුණ සරේ විලේජ් ක්‍රීඩාංගණය බලාගන්න අපිට කෙනෙක් ඕන. අපි මේ දේවල් කළේ චානකගේ හොඳට" යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
චානක ද සිල්වා මහතාට ලබාදුන් මෙම අසාධාරණ තීන්දුව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන නිලධාරීන් මෙලෙස අදහස් දැක්වුවත් ඔහුට මෙම තීන්දුව ලබාදී ඇත්තේ චානක මාධ්‍ය සමග ඉතා යහපත් සබඳතාවක් ගොඩනගාගෙන කටයුතු කිරීම හේතුවෙනි.
මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය සහායකට අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබුණු අතර, ක්‍රිකට් ආයතනයේම පිරිස් චෝදනා කර සිටිනුයේ මෙය පෞද්ගලික පළිගැනීමක් බවයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරීන්ගේ වැරදි, වංචා සහ දූෂණ ඔහු එළිපිටම ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට මෙම ස්ථාන මාරුව ලබාදී ඇතැයි එහි සේවකයෝ 'අද'ට පවසා සිටියහ.
මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ රු. ලක්ෂ දෙකහමාරකට වැඩි පඩි ලබන මාධ්‍ය කළමනාකරුවන්ගෙන් එක් අයෙක්ව පමණක් තබාගැනීම සහ 08 දෙනෙක් සිටින මාධ්‍ය අංශය පෙර පරිදි දෙදෙනෙක්ට (මාධ්‍ය කළමනාකරු සහ මාධ්‍ය සහායක) සීමා කිරීම බව එහි සේවකයෝ පවසා සිටියහ.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරුවන් දෙදෙනෙක් සේවය කරන බව නොරහසකි. මීට වසර දෙකකට පසු මෙම කටයුතු සිදු කළේ මාධ්‍ය කළමනාකරු සහ මාධ්‍ය සහායක පමණි. එහෙත් අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ සේවකයන් 08 දෙනෙක් සේවය කරන අතර, සමහරුන් මසකට සේවයට වාර්තා කරන්නේද දින 10ක් වැනි අඩු කාලයකි.
එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් හාල්මැස්සන්ගෙන් පටන් නොගෙන තෝරු මෝරුන්ගෙන් පටන්ගෙන එය සිදු කළේ නම් මීට වඩා උචිතය.